දැමුණු සිත ගෙනෙන සෙත

දැමුණු සිත ගෙනෙන සෙත

 
පන්නිපිටියේ දෙපානම
දෙව්රම් මහා විහාරාධිපති
කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමි

 නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
චිත්තස්ස දමතෝ සාධු
චිත්තං දන්තං සුඛා වහං

කාරුණික පින්වත!

සිත දමනය කර ගැනීම හොඳයි. එසේ දමනය කර ගත් සිත සැප ගෙනදේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ සිත ගැන අනුශාසනා කළ මහෝත්තමයෙක් මේ තුන් ලෝ තලයේ තවත් නෑ. අපේ ගත ජීවත් කරවන්නේ කුසට ලැබෙන ආහාරවලින්. ගතට දැනෙන ගින්දරට අප කියන්නේ කුස ගින්න කියලයි. කුසට අවශ්‍ය ආහාර සොයා ගැනීම හරිම ලෙහෙසියි. නමුත් කුස ගිනියි, බඩගිනියි කියල කුසට විස ආහාර ගත්තොත් එහි වේදනාව විදින්නෙත් අපමයි. පින්වතුනි, ඒ නිසා අප නිතර කුසට පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නව.

කුස හිස්වෙන්න, හිස්වෙන්න කුසගින්න දැනෙනව වගේ හිත හිස්වෙන්න, හිස්වෙන්න හිතට ගින්දර දැනෙනව. ඒකට කියනව හිතේ ගින්දර කියල. ඒ හිතේ ගින්දර ඇතිවුනු වෙලාවට මේ ලෝකයේ මොනතරම් භෞතික සම්පත් තිබුණත් ජීවිතයේ අරුත නොදැනී යනව. එතකොට කුසට අහර වගේ සිතටත් ආහාර ඕනෑ. ඒවා තමයි අරමුණු, අදහස්.

ඒත් මේ හිත හිස් කියල ඒ හිතට නරක නපුරු අදහස් සිතිවිලි ගත්තොත් වෛරය, ක්‍රෝධය, මදය, මානය ආදී සැරපරුෂ නපුරු සිතිවිලි ගත්තොත් එහි වේදනාව පසුතැවිල්ල විඳීන්නෙත් අපමයි.

ඒ නිසයි සිතට ආහාර ගන්නා විට යහපත් සිතිවිලි හිතට ගන්න යැයි කියන්නෙ. කරුණාව, දයාව, මෛත්‍රිය ඉවසීම හිතේ ගින්නට ගත යුතු යහපත් සිතිවිලි, යහපත් අරමුණු, යහපත් අදහස් වලින් සිත පුරවා ගැනීම කොයිතරම් වටිනවද?

මේ හිතට ආහාර සැපයූ මහෝත්තමයාණන් වහන්සෙ අපේ බුදුරජාණන්වහන්සෙ. පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ අපේ හිත හදාගැනීමටයි. හිත හදාගැනීම හරිම අමාරුයි. අපහසුයි. හිත හදාගන්න කියල වචනයෙන් කීම නම් හරිම පහසුයි.

නමුත් ඔබ දන්නවා ශරීරය ගින්නකට හසුවී පිළිස්සුනොත් එසේ පිළිස්සී අවසන් වන වෙලාවක් තිබෙනව. නමුත් හිතට ගින්දරක් ඇතුල්වෙලා ඒ හිත පිළිස්සෙන්න ගත්තොත් ඒ හිත පිළිස්සී අවසන් වන වෙලාවක් නෑ.

ඕනෑම කෙනකුට මේ ලෝකයේ කෑම බීම ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් දෙන්න පුළුවන්. ඒ මොනවා දුන්නත් හිතේ ඇවිලෙන ගින්දරට බාහිර ලෝකයාට භෞතික කිසිවක් දිය නොහැකිය. මහා සිටුවරු වැනි ධනවතුන්ට අවශ්‍ය භෞතික සම්පත් ඕනෑ තරම් තිබෙනව. නමුත් ඇතිවන මානසික පීඩාවලදී ඇතැම් විට ඊට මුහුණ දිය නොහැකිව වස විෂ කනව.

තමන්ගේ සිරුර නිරපරාදේ විනාශ කර ගන්නව. ඒ හිත හදාගන්න බැරිවන විට, හිතට අවශ්‍ය ආහාර සොයා ගන්න අපහසු වන විටයි. ඒ නිසා නිතරම හිතන්න. මේ ලෝකයේ බාහිර සම්පත් සියල්ලටම වඩා හිත නමැති වටිනා සම්පත රැක ගන්න ඕනෑ. ශරීරයේ ලප තුවාල ඇති වුනොත් ඒවා සුව කර ගැනීමට අවශ්‍ය වෛද්‍යවරු ලොව ඕනෑ තරම් ඉන්නව. නමුත් හිතට වේදනාවක් ඇතිවූ විට ඒ ඇතිවුන වේදනාව සුව කළ හැකි වෛද්‍යවරු ඉන්නවද?.

බුදුරජාණන් වහන්සේ හිතේ වේදනාව සුව කළ අසම සම උත්තමයෙක්. ඇඟිල්ලක් තැලුනොත් ඒ ඇඟිල්ල සතියකින් දෙකකින් මාසයකින් සුව වෙනවා. වේදනාව නැතිවී යනව. එසේ සුව වුනාට පසුව තවත් මාස කීපයකින් හෝ කෑ ගහල කිව්වොත් එදා ලැබිච්ච වේදනාව මට නැවත දැනෙන්න කියල ඒ වේදනාව නැවත දැනෙන්නෙ නෑ. ඒත් නමුත් ඔබ හිතන්න ඔබේ හිත යම් අරමුණකට තැලිල. ඒ හිත තැලුනු වේදනාව අවුරුදු තුන හතරක්, දහයක්, අවුරුදු හතළිහක්, පනහක් ගිහින් හෝ නැවත ආවර්ජනය කරබලන්න එදා දැනුනු වේනාව නැවත ඒ ආකාරයටම ඔබේ හිතට දැනෙනව.

ඒ නිසා ගත තැලුනාට කමක් නෑ. හිත තලන්න එපා. ඊට ඔබ කාහට හෝ ඉඩදෙන්න එපා. දෙමවුපියවරු හරියට දුක් විඳිනව දරුවො හදන්න. කොයිතරම් දුක් විඳල දරුවා හැදුවත් මේ ලෝකයේ සාමාන්‍ය දෙයක් තමයි දරුවො හැදුවත් විඳවන්න වෙනව. දරුවො නොහැදුවත් විඳවන්න වෙනව. දරුවො හොඳට හැදුවත් නිතරම හිතට ගින්දරක් එනව මගේ දරුවන්ට සමාජයෙන් විපතක්, කරදරයක් සිදුවෙයිද? කියල. දරුවො නොමගට ගියත් අනේ මගේ දරුවො නොමගට ගියා නේද? කියල හිතට මහ ගින්දරක් දැනෙනව. ඒ නිසා අම්මේ? තාත්තේ ජීවිතය ගැන හිතන්න. ආදරබර දරුවො වෙනුවෙන් ඔබ මේ ජීවිතයම කැප කළ බව ඇත්තයි.නමුත් ජීවිතයේ සියල්ලම දරුවො වෙනුවෙන් කැප කරල දරුවන්ගෙ පුංචි වචනයක සිත් වේදනාවක් නිසා මරණ මංචකයෙදිත් ඒ ගැන හිතල හිත නරක් කරගෙන මැරිල යන්න එපා.

දරුවො ඔබ දුක් විඳල හැදුවා නම්, ඔබ හදාපු දරුවො මත්තෙ ඇයි? ඔබ හිත නරක් කරගෙන මැරිල යන්නෙ. දරුවො හදාපු ඔබට ඇයි ඔබේ හිත හදාගන්න බැරි.

මේ ලෝකයේ කෙනෙක් අපට පෙනෙන්න බැන වදින්න පුළුවන්. නන්නාඳුනන මනුස්සයෙක් බැන්නොත් අපට ඒක ඒතරම්ම දැනෙන්නෑ. ඒත් දන්න හඳුනන ජීවිතයට සමීප මනුස්සයෙක් අපට බැන්නොත් අපේ හිතට දැනෙන වේදනාව වැඩිවන්න පුළුවන්. මෙයට හේතුව තමයි වැඩි ලෙන්ගතුකම නිසා හිත රිදෙනව වැඩියි. අපේ බුදුරජාණන් වහන්සේ අපට මේවා පැහැදිලි කර දෙනව.

ජීවිතයේ මොනදේට ලංවුනත් කමක් නෑ. කිසිම කෙනකුට තමන්ගෙ හිත රිදවන්න, තුවාල කරන්න හඬවන්න ඉඩ දෙන්න එපා. මොන බාහිර සම්පත් තිබුණත් පලක් නෑ. හිතේ සැනසිල්ල නැත්නම්. හිත හදාගත් මිනිස්සු මොනතරම් සුවයක් ලබනවද?

ජීවිතයක තනිකම, හුදකලාව කාත් කවුරුත් නැහැනේද කියන වේදනාව දරාගත නොහැකි ශෝකයක්. හුදකලාව තනිකම ආශාව ඒ හිත තුළ වැඩිවන කොට ඔය හුදකලාවම ඔය තනිකමම හිතේ ආශාව, බැඳීම අතහැරෙන්න, අතහැරෙන්න හිතට දැනෙන සැනසිල්ල මා වෙනුවෙන් හඬන්න වැලපෙන්න කාත් කවුරුත් නෑ. මා හුදකලා වෙච්ච තනි කෙනෙක්. තනිකම හුදකලාව, ආශාව හිත තුළ අඩුවෙන්න අඩුවෙන්න හිතට මහා පුදුම සැනසිල්ලක් ලබා දෙනවා. එකම හුදකලාව එකම තනිකම ආශාව වැඩි මනුස්සයාට වේදනාවක් දෙනව. ආශාව අඩු මනුස්සයාට ඒ වේදනාව ඒ හුදකලාව ජීවිතයේ සැපයක් බවට පත්වෙනව, වෙන කිසිවක් නොව එතැන තිබෙන්නෙ හදාගත් හිතක ඇති වටිනාකමයි. ඒ නිසා අපි හිත් හදා ගනිමු. හදාගත් හිත සියලු ක්ලේශයන් ප්‍රහීණ කොට ලොව්තුරා සුවයෙන් සැනසෙනවාමයි.

ඔබටත් අපටත් ඒ නිවන් සුව

පසක් වේවා’යි ප්‍රාර්ථනා කරමු.

බුදුසරණ අන්තර්ජාල කලාපය ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ අප්‍රේල් මස 28 වන දා බදාදා

 

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර