මහමායා පෙරහැර

ලොව්තුරු බුදුමාපිය පූජා උපහාරයක් ලෙස දෙව්රම් වෙහෙරෙහි මහමායා මහා පෙරහැර මාර්තු මස සංචාරය කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙවර පෙරහැර මංගල්‍යය දින 10 ක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා පුද පූජාවන් එක් කොට තිබේ. විශේෂයෙන් ලාංකික පෙරහැර මංගල්‍යයන්වලදී මහා පෙරහැරට සබරගමු සම්ප්‍රදායික නර්තනාංග  සහ අලි ඇතුන් සහිත වේ. එම පෙරහැරවල් 03ට අර්ථයක් එක් කරමින් සරණමංගල ආශිර්වාද පෙරහැර, ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර, කිරිදරු ආශිර්වාද පෙරහැර ලෙස නම් කොට තිබේ.

සරණ මංගල ආශිර්වාද පෙරහැර

ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් බෝසතාණන් ලෙස ලොව ජනිත වන්නට මහමායා දේවියගේත් සුදොවුන් රජතුමාගේ සරණමංගල්‍යය මූලික හේතුවක් විය. සසර පෙරුම්දම් පිරූ මහමායාවත් සුදොවුන් පියරජතුමාගේත් සරණමංගල්‍යය සිදු නොවන්නට ලෝකයට බෝසත් උපතක් සිදු නොවන්නට ඉඩ තිබුණි. පුණ්‍යවන්ත මහාමායාවත් සුදොවුන් තරුණ රජුගේත් සරණමංගල්‍යය ලෝකයේ සිදු වූ භාග්‍යවත්ම සරණමංගල්‍යයක් වූ බව නොරහසකි.

මේ සරණ මංගල්‍යය සිහිපත් කරමින් මහාමායාවටත් සුදොවුන් රජුටත් පින් අනුමෝදනා කරමින්  දෙව්රම් මහා විහාර සරණ මංගල ආශිර්වාද පෙරහැර විවාහ වීමට බලාපොරොත්තු තරුණ තරුණියන්ට ආශිර්වාද කිරීමේ අරමුණින් සිදුවෙයි. මහාමායා සුදොවුන් මංගල්‍යය වැනි භාග්‍යවත් සරණ මංගල්‍යයන් මේ ලක් පොළොව මත සිදුවේවායි ප්‍රාර්ථනය කරමින් යහපත් විවාහයක් බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට ආශිර්වාද පිණිස මෙම පෙරහැරෙහි මූලික පරමාර්ථයය. සරණ ආශිර්වාද පෙරහැර දෙව්රම් මහ වෙහෙර තුල ගමන් කරයි. තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් හා මහාමායා සුදොවුන් තරුණ තරුණියන්ගේ ජීවිත තුළින් අප තරුණ තරුණියන්ට ගත හැකි ආදර්ශ පිළිබඳ කෙටි වැඩසටහන්ද පැවැත්වේ. යහපත් වූ විවාහයක් අපේක්ෂා කරන සමස්ත තාරුණ්‍ය මේ මහා ආශිර්වාදාත්මක සරණ මංගල පෙරහැර හා එක්වන ලෙස මෙත් සිතින්  සිහිපත් කරන්නේ මහමායා සුදෙවුන් වැනි යුපතිපතින් නුදුරු අනාගතයේ මේ පුණ්‍යවන්ත දේශය මත  බිහිවනවා දකිනු රිසියෙනි.

ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර

මහමායා කුමරිය සිදුහත් පුතු බිහිවන්නට රජගහ නුවරින් දෙව්දහ නුවරට පැමිණි ආකාරය සිහිගන්වමින් ගැබිණි අම්මාවරුන්ට ආශිර්වාද කිරීමේ පෙරහැර ගැබිණි මාතා ආශිර්වාද පෙරහැරයි. පුණ්‍යවන්ත වූ දරුවෙකු මෙලොව ජනිත කරන්නට නම් පුණ්‍යවන්ත මව්පියවරු පෙරමුණ ගත යුතුයි. දරුවෙකු ලැබීමට සිටින අම්මා හෙල සංස්කෘතියට අනුව පූජනීය කාන්තාවකි. ඇයගේ කුසහොත් දරුවා මෙලොව ජනිතව ලොවක් සනසන දරුවෙකු බවට පත් වුවහොත් ඒ අම්මා ද නිරායාසයෙන්ම පූජනීය කාන්තාවක් බවට පත්වන්නේය. අද අපි මහමායා කුමරිය පුජනීයත්වයෙහිලා සලකන්නේ ඇයගේ කුසින් මෙලොව ජනිත වූ සිදුහත් බෝසතාණන් නිසාය. දරුවන් ලැබීමට සිටින අම්මාවරුන්ටත් පුණ්‍යවන්ත දරුවන් අපේක්ෂා කරන මව්පියවරුන්ටත් ගැබිණි මාතා ආශිර්වාද පෙරහැරේ ගමන් කිරීම ජීවිත වලට මහත් වූ ආශිර්වාදයකි. දරුවෙකු තම කුස තුළ පිළිසිඳගත් දා පටන් ඒ මව පුණ්‍යවන්ත දරුවෙකු මෙලොවට බිහි කරන්නට ක්‍රියා කළ යුතු ආකාරය ගැන විශේෂ වූ කෙටි වැඩසටහනක් පූජාවෙන් අනතුරුව සිදු කෙරෙයි. සෑම ගැබිණි අම්මා කෙනෙකුගේම බලාපොරොත්තුව අපේක්ෂාව පුණ්‍යවන්ත වූ භාග්‍යමත් දරුවෙකු තම කුසින් මෙලොව ජනිත කරලීමයි. ඒ වෙනුවෙන් මහමායා දිව්‍ය රාජිනියගේ ආශිර්වාදයෙන් සිදුවන මෙම ගැබිණි මාතා ආශිර්වාද පෙරහැරට සමස්ත ගැබිණි අම්මාවරුන්ටත් දරුවන් අපේකෂා කරන සියළු මව්පියවරුන්ටත් ආරාධනා කරන්නේ අනාගතයේ ලක් පොළෝතලය මත මහරහතන් වහන්සේලා ජනිත කළ යුතු නිසාවෙනි.

කිරි දරු ආශිර්වාද පෙරහැර

රටේ අනාගතය දරු පරපුරයි. අනාගතය යහපත් වන්නට නම් ඒ දරු පරපුරේ වැසී ගිය පෙර පින් උල්පත් නැවත මතු කර ගත යුතුය. කිරි දරුවන් වෙනුවෙන් ආශිර්වාද කරන පෙරහැර කිරි දරු ආශිර්වාද පෙරහැර නමින් ආරම්භව දෙව්රම් මහා විහාරයේ විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වේ. පුංචි දරුවන් සිටින මව්පියවරුණේ  ඔබේ දරුවාත් අනාගතයේ ලොවක් සනසන පුණ්‍යවන්ත දරුවෙක් බවට පත් කරන්නට අපේක්ෂා කරන්නේ නම් කිරිදරු ආශිර්වාද පෙරහැරේ ඔවුන් සමග ගමන් කරන්න.

විවාහ වී වසර දහයක්-පහලවක් ගතවුවත් දරු සම්පත් නොලැබුණු මව්-පියවරු මාතෘ දිව්‍ය රාජිනියට භාරහාර වී දරු සම්පත් ලැබූ බව පසුගිය දිනවල සක්සුදක් සේ පැහැදිලිවිය. ඒ මාතෘ දිව්‍ය රාජිනියගේ පුණ්‍ය ශක්තියේ මහිමයයි. ඒ පින් බලයෙන් කිරි දරුවන් වෙනුවෙන් ආශිර්වාද කිරීමේ මෙම පෙරහැර ගෙවදීමෙන් අනතුරුව කිරි දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ආශිර්වාද පූජාව පැවැත්වේ.

මෙම පෙරහැරෙන් පසුව ලොව්තුරු බුදු දෙමාපියන්ට පූජා පිණිස පවත්වන මහමායා මහා දෙව්රම් මහා විහාරයෙන් පිටත්වේ. සබරගමු සම්ප්‍රදායික නර්තනාංග  සහ අලි ඇතුන් සහිත පෙරහැර ගෙවදීමෙන් අනතුරුව මහමායා කුමරි ප්‍රතිමාවත්, සුදොවුන් ප්‍රතිමාවත් බුද්ධ මන්දිරයට වැඩමවීමට ලොවුතුරු බුදුරජාණන් වහන්සේ සමග බුදු දෙමාපියන් ධර්ම සාකච්ඡා කරන බව සලකා රජ පවුලකට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් රාත්‍රිය පුරා බුද්ධ මන්දිරය වටා සියලු  ඇප උපස්ථාන කටයුතු සිදු කරනු ලබයි. බුද්ධ මන්දිරයට ඉදිරිපිට සවස 6.00 සිට අලුයම 6.00  දක්වා මහා සංඝරත්න විසින් පවත්වනු ලබන මහාසමය සූත්‍ර දේශනාවකි.

පෙරහැර ගෙවදීමෙන් අනතුරුවය එතැන් පටන් මාතෘ දෙව්ගුණ ගයමින් පෙරහැරේ ගමන් කළ කිරි අම්මාවරු 79 දෙනා රැය පහන් වන තුරු මාතෘ දිව්‍ය මන්දිරය තුළ මහාමාය පිරිත සජ්ජායනා කරනු ඇත. අළුයම ඒ කිරි අම්මාවරු උදෙසා පැවැත්වෙන කිරි දානයෙකි.
පෙරහැර මංගල්‍යයයේ දිය කැපීමේ මංගල්‍යය සිදුවන්නේ ඉන් පසුවයි. මහමායා දේවියගේ මව හෙවත් අංජන මහායාම රජුගේ අග මෙහෙසිය දෙව්රම් මහා වෙහෛරට පැමිණේ. මාතෘ දිව්‍ය රාජිනිය උදෙසා පවත්වන මායා මඩු දේව ශාන්තිකර්මය රාත්‍රියේදීය. සමස්ත ලෝකවාසීන්ටම මාතෘ දිව්‍යරාජ ආශිර්වාදය ලබාදීමේ අරමුණින් පැවැත්වෙන මායා මඩු දේව ශාන්තිකර්මය නිමාවට පත්වන්නේ උදෑසන පැවැත්වෙන මාතෘ දිව්‍යරාජ සුගන්ධ දේව දානයෙන් සහ දහවල් හත්මාලුව සහිත මහා දේව දානයෙනි.

සන්ද්‍යාභාගයේ සුගන්ධ මහා පහන් ආලෝක පූජාව

මාතෘ දිව්‍ය රාජිනිය මෙලෙස ආමිසයෙන් පුදන අතර, ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ලබන්නා වූ කුසල්ද එතුමියට අනුමෝදන් කිරීමේ ප්‍රතිපත්ති පූජාවක් ලෙස මේ සඳහා මහා සිල් වැඩසටහනක් පැවැත්වෙන අතර දිනපතා අළුයම බත් වර්ග 03 ක් ව්‍යංජන 32 ක්  සත් කැවිලි සත් පලතුරු සහිත සිරි දළදා උපහාර මහා බුද්ධ පූජාවන් පැවැත්වේ.
මෙම පෙරහැර මංගල්‍යයයේ මූලික පරමාර්ථය බුදු මාපියන් පිදීම තුළින් තම දෙමාපියන් පුදන සමාජයක් බිහි කරලීමයි. ලොව්තුරු බුදු පුතෙක් තනන්නට මහාමායා අම්මත් සුදොවුන් පියරජතුමාත් කොතරම් පෙරුම් පුරන්නට ඇත්ද ඔබේ මවත් පියාත් ඔබ මෙලොවට බිහි කර පෝෂණය කරමින් සමාජගත කරන්නට ගත් වෙහෙස දන්නේ ඔවුන් දෙදෙනා පමණි. එවන් වූ මව්පියවරු පුදමින් මව්පිය උපස්ථානය  නැවත මේ සමාජයේ ව්‍යාප්ත කරලීමත් බුදු මව්පියන් පිදීමෙන් ලබන ආශිර්වදාය ජන සමාජයට ලබාදීමත් අපේකම රැකෙන හෙල සංස්කෘතිය සුරැකෙන දේශීය නර්තන ශිල්පය ආදී අපේ දේ සුරැකීමත් මෙම පෙරහැර මංගල්‍යය තුලින් අපි ප්‍රාර්ථනා කරන්නෙමු. ඒ සියළු පැතුමන් එලෙසම ඉටුවේවා.

උපුටා ගැනීම් - බුදුමග සඟරාව
තොරතුරු ලබාදීම - මංජුලා ප්‍රතාපසිංහ

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර