මාර බලය පරදවා බුද්ධ බලය දිනවමු

සම්මා සම්බුදු උපත ලෝකයට  ලැබුනේ අසරණ ලෝකයාගේ හිත පිණිසයි. ලෝකයේ පුණ්‍යවන්තයින් වැඩි වන කාලයට මහා බෝසත්වරු බුදුවීම පිණිස මනු ලෝතලයට වැඩම කරති. කාල විපත්ති බහුල ලෝකයක අප ජීවත් වුවත් බුද්ධශාසනයේ පවතින නිසා අපි වාසනාවන්ත පිරිසක් බවට පත්වී ඇත. මේ තත්වය අවබෝධකොටගත් කීදෙනෙක්ද අද මේ සමාජයේ ජීවත් වෙන්නේ?

සංසාර ගමන බොහෝම දිගයි. මේ දීර්ඝ සංසාර ගමනේ බොහෝ පුංචි තාවකාලික නවාතැනක් විතරයි, මේ මනුෂ්‍ය  ආත්මය. මැරෙන බව දැනගත්තද , මරණ ස්වභාවය නිවැරදිව හදුනාගත නොහැකි අපි, සංසාරගමන කොහොම හදුනා ගන්නද? මරණය හදුනා ගන්නා තැනැත්තාට සසර ස්වභාවය හඳුනා ගැනීම එතරම් අපහසු නෑ. අපි පව් කරලා ඒ පාපය මතු භවයකදී විඳවන්නෙ, මම නොවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම මැරෙනවා මගේ මරනෙන් පස්සේ උපදින්නේ මම නෙවෙයි වෙන කෙනෙක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

ඒ පිළිබඳ බුද්ධ වචනය මෙහෙමයි. "නච සෝ නච අඤ්ඤෝ" තමාද නොව අන් අයෙකුද නොව යන්නයි. තමන්ගේ රූපකාය මතු භවයේදී නොවන නිසා තමන් නොවේ. එහෙත් නාම ධර්මයන් හෙවත් සිතිවිලි පරම්පරාව එලෙසම පවතින නිසා තමන්ම වේ. ඒ නිසා කුසල අකුසලයේ විපාක තමන්ට නොවේ යැයි කෙනෙකුට ඉන් මිදිය නොහැකිය.
වර්තමාන ජන සමාජයේ කොපමණ නම් පිරිසක් දුකින් වේදනාවෙන් කාලය ගෙවනවාද? මේ පිරිස දකින, කරුණාවෙන් පිරුණුසත් පුරුෂ හිත් වලට මහා වේදනාවක් දැනෙනවා. අතක් පයක් නැති ආබාධිත පුද්ගලයෙකු මුණ ගැසුණහොත්" අනේ පව් යැයි පවසමින්  මහා වේදනාවක් කරුණාබර හිත්වල ඇති වෙනවා. එහෙත් ඒ ඇත්තෝ සසර පව් කරලා අද ඒ තත්වයට පත් වූ පිරිසක්. එහෙනම් අද අපි පව් කරනා විට, අපි පමණක් නොවෙයි සත් පුරුෂ උත්තමයන් වහන්සේලාවත් දුකට කණගාටුවට පත් කරන්න අපි උදව් දුන්නා වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා ධර්ම කාරණා දෙකක් සංයුක්ත නිකායේදී දේශනා කරනවා. "මහණෙනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම නිසා බොහෝ පිරිසක් පිං කර ගන්නේය'.එසේම මහණෙනි තව බොහෝ පිරිසක් පව් පුරවා ගන්නේය".

සම්බුදු කෙනෙකුගේ පහල වීම නිසා බොහෝ දෙනෙක් භව ගමනින් එතෙරව සැනසිල්ල සහනය ලබනවා වගේම බුදුවරයාණන් වහන්සේ නමකගේ උපත නිසා අපායගාමී පිරිසකුත් සිටින බව බුදුරජාණන් වහ්න්සේගේ ධර්මයේ සඳහන් වේ. එනම් සත් පුරුෂ ක්‍රියාවක යෙදන විට තම තමා ගෙනආ කර්ම ශක්තිය අනුව අපායගාමී පිරිස් සිටීම නොවැළක්විය හැකියි. සංසාරේ පිං පුරවා ගෙන පැමිණි පිරිස් බුදු පාමුල අරහත් මගඵල ලබා සසර ගමනින් එතෙර වෙනවා සමඟම බුදුරජාණන් වහන්සේ ප්‍රමුක මහා සංඝයාට අවමාන කරමින්, අකුල් හෙලමින් නොයෙක් හිරිහැර කරමින් අපායගාමී වන්නෝද වෙති.

ඒ ගැන තැවෙන්නට කම්පා වෙන්නට බුදුරජාණන් වහන්සේ ගියේ නෑ. අපායගාමී වන හැමදෙනා බේරාගන්න උන්වහන්සේ වැඩම කළේ නැ. අංගුලිමාලව බේරා ගත්තද දෙව්දත්ව බේරා ගැනීමට ඉද්රි‍පත් නොවූ සේක. මේ තත්වය තමයි ලෝකයාට උරුම ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය වෙනස් කරන්නට බුදු හාමුදුරුවොත් ඉදිරිපත් නොවූ සේක. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණා දේශනා කරන්නේ සත්පුරුෂ හිත් ගොඩනගා ගන්නයි." මේ ලෝකය අපිට හොඳ කරන්න බෑ මහණෙනි". සර ගමනේ අප කළ කී දෙ අනුවයි හැම දෙයක්ම සිද්ධ වන්නේ. පින් පුරාපු පිරිස් හොඳ වෙනකොට, පව්ම පුරවා ගන්න පව්කාර පිරිසකුත් මේ සමාජයේ ජීවත් වෙනවා. බුදුහාමුදුරුවන්ටත් මේ මුළු සමාජයම යහ මාර්ගයේ ගමන් කරවන්න හැකියාවක් නොමැති නම් සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට ඒක කරන්න පුළුවන් වෙයිද? කෙනෙක් හොඳ වෙන්න සේම නරකටම ගමන් කරන්නෝද සමාජයේ බහුලය.

කෙනෙක් හිතනවා මම හොඳයි, ඇයි මගේ ගෙදර පිරිසට හොඳ වෙන්න බැරි. ඇයි මගේ අසල්වැසියන්ට හොඳ වෙන්න බැරි. අපේ පවුලේ පිරිස හොඳයි. ඇයි එහෙනම් ගමේ මිරිසට හොඳ වෙන්න බැරි. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්, මනුෂ්‍ය ශරීරයක් අරගෙන මනුෂ්‍ය වර්ගයා අතර ඉපදුනත් ඒ ඒ පුද්ගලයා තුළ තිබෙන පින් දහම් විවිධාකාරයි. සියලු මනුෂ්‍යයෝ ශරීර හැඩයෙන් රූප සටහනෙන් එක වගේ වෙන්න පුළුවන්. බාහිර ගමනින් එක වගේ වෙන්න පුළුවන්. එහෙත් ගති පැවතුම් වලින් එක වගේ වෙන්නේ නෑ කවදාවත්. ඒ ඒ පුද්ගලයා සසරේ රැස් කරගත් දේ අනුවයි ඒ ඒ පුද්ගලයාගේ ජීවිත සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ අපි ලෝකයාට කල්‍යාණ මිත්‍රයෝ වුනත් ලෝකයේ සිටින තාක් තමාගේ ගුණ ධර්ම රැකගෙන ජීවත්විය යුතුයි යන්නයි. එයයි බුද්ධ දේශනාව.

අපිට පුළුවන් පහසුවෙන්ම ලෝකයාට අසත්පුරුෂ වෙන්න. එවිට ලෝකයේ සිටින සත්පුරුෂයාටත්, අසත්පුරුෂයාටත් අප පතුරුවන්නේ අසත්පුරුෂකම. එහෙම නොවී අසත්පුරුෂ ජන සමාජය මැදදීත් සත්පුරුෂ ගුණ වර්ධනය කරගන්න පුළුවන් නම් එයයි ධර්මානුකූල ජයග්‍රහණය. ඒ නිසා පින්වතුන්ලාත් එහෙම හිතනවා නම් මේ ධර්මයට අනුව මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. මම ගුණවත් වෙනවා මගේ ගුණවත් ජීවිතයෙන් ගුණවතුන් හට යහපතක් සිද්ධ වෙනවා වගේම අගුණවන්තයන්ටත් යහපත්කම සිද්ධ වේවි. එහෙත් අගුණවන්තයන්ට සිද්ධ වෙන අයහපත හමුවේ ගුණවන්තයන්ට සෙතක් වන මගේ ගුණවත්කම මම නැති කර ගන්නේ නෑ. එහෙමයි සත්පුරුෂ පින්වතුන් ලෝකයේ ජීවත් විය යුතු වන්නේ එසේ නොවුනහොත් මාරයාගේ පිරිස වැඩි වෙනවා වගේම සසර ගමන නිමාකරන පිරිස් හිඟ වෙනවා. ලෝකයේ ඕන කෙනෙක් ඕන මාවතක ගියදෙන් ඔබ හොඳ මග යන විට කිහිප දෙනෙකු හෝ හොඳ මග ඒවී.

වනාන්තරයේ වන සිවුපාවන් මැද ජීවිත බේරාගත නොහැකිව සිටින පිරිසල් ගැන සිතමු. ඒ පිරිස මහා දුකින් මරණ භයෙන් පීඩිතව මග සොයා ගත නොහැකිවයි මෙලෙස අතරමංව සිටින්නේ. දිනෙන් දින ගෙවනවා කොහොම කොහොම හරි වනයෙන් ආහාර ටිකක් සොයා ගන්නවා. පිපාසයට පැන් ටිකක් සොයා ගන්නවා. මෙහෙම කාලය ගත කරන අවස්ථාවේ බුද්ධිමත් කෙනෙක් සිතනවා, මේ වනයේ වන සිවුපාවුන් බහුලයි. මෙයින් මිදීමේ මගක් මම සොයා ගතු වෙනවා. මෙහෙම හිතලා බේරිලා යන්න පුළුවන් මගක් මොහු සොයා ගන්නවා. මේ පිණිවුඩය පිරිස් හැමෝම එක වගේ පිළිගනියිද? සමහරු අධෛර්යමත්ව මේ පුවත ඉවත දමාවි. තවකෙකු වනය වඩා හොඳයැයි පවසා මේ පුවත ඉවත දමාවි. සමහරෙකු වනය ගම්මානයට වඩා යහපත් යැයි පවසාවි. මෙලෙස බොහෝ පිරිසක් මේ බුද්ධිමතා සමඟ ගමනට එකතු නොවී වනයේම රැදෙයි. ඉතාම සුළු පිරිසක් ඔහු සමඟ ගම්මානය සොයා යන දුෂ්කර ගමනට එක්වේවි. එයිනුදු සමහරෙකු මග වැටේ. අධෛයර්මත්ව ගමන හමාර වීමට ප්ර ථම ගමනින් ඉවත් වේවි. අවසානයේ ඉතාම ස්වල්ප දෙනෙක් මහා වනයෙන් ඵලා අවුත් නැවත ඒ දෙසට නොයන ලෙස පවසාවි.

අපිදු එසේමය. මහා විසකුරු සර්පයන් බදු ගොඩක් මැද ඒ දුක නොදැක මේ භවය ගෙවන්නෙමු. බුදුරජාණන් වහන්සේ මේ සසර භය දැන එයින් මිදී අවුත් අපටද සසර භයෙන් මිදෙන ලෙස ධර්මය දේශනා කළ සේක. මොන ආත්ම භවයක අප දිවි ගෙව්වද මාරයාගෙන් නිදහස් නොවූ පිරිසක් වන්නෙමු. ජාති, ජරා, ව්යායධි, මරණ ආදී මරණ ගොඩින් නිදහස් වීම පිණිස මග කියා දුන්නද හැමදෙනාම ඒ මග ගන්නට නොපෙළඹෙන්නේමය. මෙ ලෝකයේ හොඳයැයි, සැපයයි, රසවත්යැයි කී දෙනෙක් විශ්වාස කරන්නේද? මේ සත්ව ගොඩ මැද්දෙන් හෙමින් හෙමින් ගොඩ වෙලා යන්න පුළුවන් නම්, ගොඩවුනු බුදුරජාණන් වහන්සේ  මේ මරණ ගොඩින් එතර වීම පිණිස ගොඩ සිට ධර්මය දේශ්නා කරන සේක.

සමස්ථ සමාජයම යහ මාර්ගයේ යැවීම අපට කළ හැක්කක් නොවේ. බුදුරජාණන් වහන්සේද ඒ බව වදාළහ. ඔබ කොපමණ ගුණවත් වුවත් සමාජයේ කෙනෙකුගෙන් සිදුවන වරදක් හමුවේ කළකිරීම් ඇති කරගත යුතු නැත. එය සමාජයේ ස්වභාවයයි. මේ ස්වභාවය වෙනස් කිරීම බුදුරජාණන් වහන්සේට පවා කළ නොහැකි බව උන්වහන්සේම දේශනා කළහ. මන්ද ලෝකය නතුවී තිබෙන්නේ බුද්ධ ගුණයට නොව මාර බලයටය. ලෝකයේ හිමිකරු මාරයාය. මාරයාට අයත් ලොකයෙන් පින්වත් පිරිස එතෙර කරවීම පිණිස බුදුරජාණන් වහන්සේ මනුලොවට වැඩම කරන්නේය. එසේ නම් අපි කුමක් කළ යුතුද? මාරයාට අයත් ලොව තුල ජීවත් වන ගමන් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ යුතුය. එවිට බොහෝ ප්රයශ්ණ පැන නගින්නේය. එවිට ප්රහඥාවන්තවී මාර ග්රුහණයෙන් මිදීම පිණිස කටයුතු කළ යුතුය. ඒ සඳහා සසර ගමනින් පුණ්යන ශක්තිය රැගෙන ආ යුතුය. එවිට මාර බලය පරදවා බුද්ධ ගුණය දිනවිය හැකි වන්නේය.

පූජනීය ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.
බුදුමග සඟරාව - (බුදුමග සංවිධානයේ මාසික ප්‍රකාශනය )
3 වෙනි පිටුව,  වෙසක් කලාපය 2014.

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර