සහනය ලබන මග

ජීවිතය තේරුම් ගැනීම, ජීවිතය අවබෝධ කර ගැනීම, ජීවිතය වටහා ගැනීම, බොහොම අමාරු කාරණයක්, එදිනෙදා කන්න බොන්න පුළුවන්, අඳින්න පලඳින්න දෙන්න පුළුවන් නමුත් කෙනෙකුගේ සිතට යමක් අවබෝධ කරලා දෙන එක බොහෝම අමාරු වැඩක්. අපි කවුරුත් ඉපදුන ස්වභාවය විශ්වාස කරනවා. මේ ඉපදීමත්, මියයෑමත් අතර ජීවත් වන අපි මොනවද කළ යුත්තේ කියලා අපට වටහා ගැනීමේ අමාරු කමයි. අපහසු බවයි අපට තියෙන්නේ. හුස්ම ටික තියෙනකම්  වෙදනාව දැනෙනකම් දුක සතුට තියෙනකම් ඔහේ ජීවිතය ගෙවලා ගෙවලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. සිවුපාවෙක් වුනත් එහෙමයි. සිවුපාවට නොතේරුම්  කමට කෑවා. කොහේ හරි වැටිලා නිදාගත්තා. දරු පැටවුන් බිහිකළා. මැරිලා ගියා. මේ මුළු ලෝකයේම ජීවිතවල ස්වභාවය මේකම තමයි.

 මනුෂ්‍ය ජීවිතයේ තියෙන වෙනස කුමක්ද? දවසින් දවස මිනිසුන් වූ අපි යමක් අවබෝධ කරගන්න මහන්සි කරගන්න ඕනේ. නමුත් ගිහි ගෙදර ජීවත වන ඔබට එදිනෙදා කන්න බොන්න අඳින්න පලඳින්න ලෝකේ කවුරුත් ළඟට ගෙනත් දෙන්නේ නෑ. මහණ වුනොත් කවුරු කවුරු හරි මොනවා හරි ඒ භික්ෂුන් වහන්සේට ගෙනවිත් පුජා කරනවා. ඒ නිසා පැවදි වුනහම හරි හම්බ කරන්න මහන්සි වියයුතු නෑ. නමුත් ගිහි ගෙදර ජීවත් වන ඔබ එදිනෙදා ජීවිතය ගැන සිතිය යුතුයි. තුන් වරුවට කාලා, බීලා, ඇඳලා, පැළඳලා වැටිලා නිදා ගන්න තැනක් , කෙනෙක් යුතුකමක් ගැන සිහි කරනකොට ඒකට උදව්වක් උපකාරයක් කිරීමක්, මේ සියල්ලම ඔබේ ජීවිත වල රැදිලා තියෙනවා. මේ සියල්ලම කරන ගමන් හිත තේරුම් ගන්න එක බොහොම අමාරුයි. ජීවත්වීමට හරිහම්බ කරන්න කරන්න ඕනේ. හරි හම්බ කරන්න කායිකව මානසිකව වෙහෙස වෙන්න ඕනේ. හරි හම්බ කරගත් දෙය අරපරිස්සමෙන් විය පැහැදම් කරන්න ඕනේ. දුක් විදලා හදාගත් ගේ දොර ආරක්ෂා කරගන්න මහන්සි වෙන්න ඕනේ.  යුග දිවියට පත් වෙලා හදාගත් දූ දරුවෝ උස් මහත් කරගන්න මහන්සි වෙන්න ඕනේ. දරුවන්ගේ අවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. තියෙන තරමින් හරි හම්බ කරගත් දෙය දරුවන්ට බෙදා හදා දෙන්න ඕනේ. මේ සියල්ලම සිද්ධ කළත් සමහර වෙලාවට මැරෙන්න වැටෙනකම් දරු මල්ලනගේ ජීවිත පිටිපස්සේ දුක සැප සොය සොයා දුවන්න ඕනේ.මේ තමයි ගිහි ගෙදර ස්වභාවය. අපි පුළුවන් තරම් මේ ජීවිතයේ විදින්නේ දුක් වේදනාමයි. අද සහනයක් ලැබෙයි, හෙට සහනයල් ලැබෙයි, තව ටික දවසකින් සහනයක් ලැබෙයි. මේ කාලය ගෙවුනාම සහනයක් ලැබෙයි. අපි මේ විදිහට ජීවිතයේ හැමදාම සැනසිල්ල ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ සැනසිල්ලම අපටත් නොකියා අපට වේදනාවක්, විපතක්,කඳුළක්, සුසුමක්, පීඩනයක් බවට පත් වෙනවා. මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන හිත දිනන එක කොපමණ අමාරුද?

ජීවිතය පිළිබඳ හිතනවා නම් කොච්චර දෙවල් තියෙනවාද? ඔබ දරුවෝ ගැන හිතුවොත් උදේ, රැය පහන් ගෙවිලා යාවි. ඒත් හිතලා ඉවර කරන්න පුළුවන්ද? තමන් හරි හම්බ කරගත් දෙය, තව හරි හම්බ කරගන්න තියෙන දේවල් ගැන හිත හිතා හිටියොත් ඉවරයක් නෑ., කෙළවරක් නෑ. අවසානයක් නෑ. ලෙඩ දුක් ගැන කල්පනා කළොත් රෝගයක අවසානයක්, නිමාවක්, කෙළවරක් නෑ. ඒ නිසා ජීවිතයක හිතන්න ඕනෑ තරම් කරුණු කාරණා නැතුවා නෙමෙයි.
බොහෝ දෙනෙක් තමන්ගේ පාළුව කාංසිය නිවාගන්න කියලා රූපවහිනිය ළඟට ලං වෙනවා. රූපවාහිනියේ බොහෝම දේවල් තියෙනවා. නමුත් ආපසු හැරිලා බලනකොට ගත යුත්තක් නෑ.එකතු කරගතයුතු දෙයක් නෑ. ලැබිච්ච දෙයක් නෑ. අවසානයේ ඉතිරි වෙන්නේ වේදනාවයි, දුකයි, තරහවයි. අනේ නිරපරාදේ මගේ කාලය ගෙවුනා කියල හිතෙන සිතුවිලි ටික විතරයි.

අද මේ මුළු මහත් ලෝකයේ සිටින ජනතාවගෙන් සියයට අනූ නවයකටම දැනෙන්නේඔය ටිකමයි. බටහිර ලෝකයේ බොහෝ රටවල මිනිස්සු කාලය යොදා ගන්න වැඩ පිළිවෙල යොදනවා, ළමා වයස ගෙවන්න මොනවා හරි යොදා ගන්නවා. තරුණ වයස ගෙවන්න මොනව හරි යොදවනවා. මහළු වයසටත්  මොන්ව හරි යොදා ගන්නවා. මොන මොන හරි දේ හරි කර කර කාලය ගෙවනවා.  අවසානයේ අතපය වාරු නැති වෙනකොට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඊළගට මරණ මංචකයට වැටිල කියනවා අනේ මට මොන්ව හරි බෙහෙත් ටිකක් දෙන්න ඉක්මනට මැරෙන එක මට බොහොම සැපයි. මෙහෙමයි ඒ රටවල වැඩිහිටිය බොහෝ දෙනෙකුගේ තත්වය. බටහිර වැඩිහිටි නිවාසයකට ගියහම සමහර වැඩිහිටියෝ දිහා බලන්නත් දුකයි. අද බටහිර ලෝකයේ වැඩිහිටියන්ගෙන් බොහෝ පිරිසක් මානසික රෝගීන්, අවසාන කාලයේදී කරකියා ගන්න දෙයක් නැතුව ඒ පිරිස ලතවෙනවා.
 
ඇසින් රූප දැකීමේ ආශාව තියෙනවා. කන් වලින් ශබ්ධය ඇසීමේ  ආශාව තියෙනවා. නාසයෙන් ආඝ්‍රාණය කිරීමේ දිවෙන් රස විඳීමේ, ශරීරයෙන් ස්පර්ශය ලැබීමේ දැඩි ආශාව තියෙනවා. නමුත් ඇහ පෙනෙන්නේ නෑ.කන ඇහෙන්නේ නෑ අතපය වාරු නෑ. ඉතිං ඒ පුද්ගලයාට මොකද වෙන්නේ. සිතට මහා අසහනයක් දැනෙන්න පටන් ගන්නවා. මම ආසයි මේ දේවල් කරන්න ඒත් මට මුකුත් කරන්න බෑනේ, කියන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරනවා. ඒ වෙලාවට සිතින් විදවලා විදවලා ඉබේම මානසික රෝගියෙක් බවට පත් වෙනවා.

බෞද්ධ අපි ඒ තත්වයෙන් මිදිලා තියෙනවා. අපේ වයසක අම්මා කෙනෙකුට මඟුල් ගෙදරක යන්න තියෙනවා කියලා තරුණියක වගේ සැරසෙන්නට කිවුවොත් ඒ අම්මා කැමති වෙනවද? වයසට යන්න යන්න කියනවා අනේ මට එහෙම ඕනේ නෑ. මට චාම්ව ඇදුමක් ඇඳ ගත්තම ඇති. ඒ තමයි හිතෙන හැටි. ඒ ජීවිතය තුළ හිතට යමක් දැණුන නිසයි අවසාන කාලයේ එහෙම වෙන්නේ. ඒත් බටහිර රටකට ගිහින් බලන්න අතයි කකුළයි දෙකම පණ නෑ. ආබාධිතයි. ඒත් මේ පුද්ගලයා කියනවා මාව තරුණයෙක් වගේ සරසන්නය කියලා. මෙන්න වෙනස. ඇයි ඒ කවාදා හරි ජීවිතයේ මේ ස්වභාවයට පත් වෙනවා කියලා ඔහු කවදාවත් හිතුවේ නෑ. බුදු දහමේ වටිනාම තැනක් තමයි ජීවිතයේ වයසට යන්න යන්න හිත් තැවුලකට පත් නොවී ජීවත් වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අතපය වාරු නැති වෙනකොට, තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි වෙනකොට, ඇස, කන නොපෙනී නොඇසී යන විට  බුදුරජාණන් වහන්සේගේ ධර්මය තදින් මනසට දැනෙන්න පටන් ගන්නවා. ඒ ටික කල්වේලා ඇතිව ජීවිතයේදී අවබෝධ කරගෙන හිටියා නම් ඔහුට ජීවිතයේ කොච්චර ඉහළ යන්න තිබුණද? බුදු දහම දහම පවතින ඒ ආශ්ර ය ලැබෙන රටවල මිනිස්සු සැදෑ සමයේදීවත් බුදු දහම තේරුම් ගන්නවා. බොහෝ වෙලාවට ඇහෙන කතාවක් තමයි වැඩිහිටියන් පිං දහම් කරන්නේ නිතර පන්සලකට ආරාමයකට යන්නේ පොහොයට සිල් සමාදන් වෙන්නේ එය අමුතු කාරණයක් නෙවෙයි. වයසට යන විට ජීවිතය තේරෙන්න පටන් ගන්නවා.ඒ වෙලාවට බුදු දහම ඇර වෙන පිළිසරණක් නෑ. තරුණ කාලයේදී යමෙක් බුදු දහමට නඹුරු වෙලා තිබුනොත් එයා තරුණ කාලයේදීම ජීවිතයේ ස්වභාවය තෙරුම් ගන්නවා. ඔහු මහළු වීමට ප්‍රථම තමන්ගේ ජීවිතය ජයග්‍රාහී ජීවිතයක් බවට පත් කර ගන්නවා. මහළු වෙලා තේරෙන ටික තරුණ වයසේදී තෙරුම් ගතහොත් කොපමණ ප්‍රයෝජන ගන්න පුළුවන්ද ?    

වැස්ස වැටෙනවා කියලා කල් වේලා ඇතිව දැනගතහොත් අපි කල් වේලා ඇතිව වැස්සට සූදානම් වෙනවා.  ඒ වගේ තරුණ හිතත් ජීවිත ස්වභාවය තෙරුම් ගතහොත්, ඒ නිසා සැදෑ සමයට යනවිට සැදෑ සමයේ ධර්මය විශාවාස කළ පිරිසටත් වඩා බල සම්පන්න හිත් ඇති පිරිසක් බවට පත් වෙනවා. එතැනයි වටිනාකම තියෙන්නේ. සැදෑ සමයේදී ධර්මය ප්‍රිය කරලා ධර්මයට ගරු කරලා හිත යන්තම් හදා ගෙන මැරෙනවාට වඩා තරුණ වයසේදී ජීවිතය තේරුම් අරගෙන අවබෝධ කරගෙන මහළු වෙනකොට ඊටත් වඩා ජීවිතය වටහා ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද. සාමාන්‍යයෙන් ලෝකයා හඬන වැළපෙන ගහ බැණ ගන්න ප්‍රශ්න ඒ හිතට දැනෙන්නේ පුංචි දරුවෝ කරන ක්‍රියාවන් විදිහටයි. ඒ වගේ මානසික අවබෝධයක් ඇතිකරගන්න මේ හැමදෙනාම මහන්සි වෙන්න ඕනේ. 

ජීවිතය, බුදුරජාණන් වහන්සේ පිළිබදව නිවැරදි අවබෝධයත් මරණයත් තුළින් පසක් කරගන්න පුළුවන් නම්, අපට මේ ලෝකයේ ජීවත් වීම එතරම් අපහසු කාරණයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ නැමැති පරම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ආශ්‍රය කරන විටයි ජීවිතය පිළිබඳ යමක් අවබෝධ වෙන්නේ.  අපි ජීවත් වෙනවා කියා බොහෝ විට කළේ කෑවා, බිවුවා, ඇඳ පැළැඳගත්තා, එදිනෙදා ජීවිතයේ යුතුකම් ඉටුකලා එපමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න, ආශ්‍රය කරන්න ගැඹුරු මනසින් බුදුරජාණන් වහන්සේ දකිනකොට ජීවිතය හිතනාවට වඩා මේ  ජීවිතයෙන් සැනසිල්ල සහනය සුවය ලංකරගන්න පුළුවන්.
---------------------------------------------------
පූජනීය ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.
බුදුමග සඟරාව - (බුදුමග සංවිධානයේ මාසික ප්‍රකාශනය )
3 වෙනි පිටුව,  පොසොන්  කලාපය 2014.

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර