සසර ගමන හඳුනා ගත යුතුමය

ඉර පායයි, ඉර බැස යයි, දවස ගෙවී යයි. තව දිනක් උදා වෙයි. නමුත් නිවැරදිව ප්‍රකාශ කළොත් ඉර තිබෙන තැන නතර වී තිබෙයි. අප ජීවත්  වෙන පෘථිවිය ඉර වටේට කැරකෙයි. මේ කැරකි කැරකි යන පෘථිවියට ඉරේ රශ්මිය පැය කීපයක් ලැබී ඉරට පිටුපාන විට රාත්රිකය උදා වුණා යැයි අපි කියමු. මේ පෘථිවිය සූර්ය මණ්ඩලය වටේ කැරකී කැරකී, දින 365 කින් එක රවුමක් සම්පූර්ණ කළ විට අවුරුද්දක් ගෙවී ඇති බව කියමු. මේ ආකාරයට සංසාර ගමන පුරාම, උදේ වෙනවා, රෑ වෙනවා, දවස ගෙවිලා යනවා ආදී ලෙස කාලය ගෙව්වෙමු. ගෙවි ගෙවී යන කාලයත් එක්ක අපේ ළමා වයස ගෙවෙනවා, තරුණ වයසට පා තබනවා තරුණ වයස ගෙවෙනවා, මැදුම් වයසට පා තබනවා, මැදුම් වයස ගෙවෙනවා,  ජීවිතයේ සැදෑ සමයට ළං වෙනවා.
හරියට නිවැරදිව ලෝකය විනිවිද දකින්න පුළුවන් නම්, අපි මේ රඟමඬලක් බඳු ජීවිතේ, අරමුණක් නැති දෙයක් නේද මේ කරන්නේ? කවුද ප්‍රතිඵලයක් ඇති වැඩක් කරන්නේ? ගෙවී ගෙවී යන ජීවිතේ, බලපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට මහන්සි වෙනවා. ඒ ප්‍රාර්ථනා සඵල වෙනවා. එහෙත් එතැනින් නිම නොවෙයි. තව බලාපොරොත්තු ප්‍රාර්ථනා ගොඩක් එකතු වෙයි. ඉන්පසු ඒවා ඉෂ්ඨ කරගන්න බලයි. අපට මේ බලාපොරොත්තු වැඩිවෙන්නේ ඇයි? ජීවත්වීමට අරමුණක් අවශ්‍යයි. අරමුණක් නොමැතිව ලෝකයේ ජීවත්වීමට නොහැකියි. ඒ නිසා මේ විශ්වයේ අපට ස්වභාවික ලෙස අරමුණු ඇතිවෙයි. අපි ඒ අරමුණු මත්තේ ජීවත් වෙමු. කාලය ගෙවී යයි ගෙවී යන කාලයත් සමඟින් අපි මාරයා ළඟට ළං වෙමු. මේ ශරීරයට ප්‍රාණයට සිටිය නොහැකි බව දැනෙනා විට ප්‍රාණය මේ ශරීරය අතහැර "විඤ්ඤාණය"  තව තැනකට ඇඳී යයි. දැනීම තවත් ස්ථානයකට ගොස් තව ආත්ම භාවයක් ලබා ගනියි. කෙනෙක් මැරෙනවා යැයි කියන්නේ මෙයයි.
උදාහරණයක් වශයෙන් අපි බයිසිකලයක් ගනිමු. මේ බයිසිකලයේ රෝද දෙක හොඳ නම්, මේ බයිසිකලයේ පාගන පැඩලය හොඳ නම්, චේන් පොට හරහා කැරකෙන රෝද දෙක ශක්තිමත් නම්, දැව සහගත නම්, මේ බයිසිකලය ඉදිරියට ඇඳී යයි. අවශ්‍යය තැනදී නතර කර ගැනීමට ශක්තිය තිබේ නම්, එය ප්‍රවේශම් සහගතව යයි. නමුත් චේන් පොට කැඩී ගියහොත්, බයිසිකලයේ ගමන තරමඟ නතර වෙයි. ටයරයක හුළං ගියහොත්, බයිසිකලයේ ගමන නතර වෙයි. නැවත එය සකස් කර මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරවිය යුතුය. මේ ජීවිතයත් ඒ වගේ තමයි.
මේ ජීවිතය නැමති වාහනය ගත් විට හිටි හැටියේම ජීවිතය කැඩුනා වගේ. නහර වල රෝග ඇතිවෙයි. මේ ශරීරය තුළ විවිධාකාර රෝගාබාධ ඇතිවන විට, යා නොහැකිව කැඩුන වාහනය සකස් කර ගන්නා සේ, අපිත් මේ ශරීරය තුළ දුවන්නට බැරි වන විට ලෙඩ දුක් හැදුනා යයි කියා මේ ලෙඩ දුක් සඳහා පිළියම් කර, නැවත වාහනය සකස් කළා සේ, ශරීරය සකස් කර නොගන්නේද?
පිංවතුන්ලා අපි සංසාරයට ආවේ අද ඊයේ නොවෙයි. කලප කෝටි ගනනේ සිට අප මේ සංසාර ගමනේ යනවා. මේ මනුස්ස ලෝකෙට ඇවිත් විවිධ නම් වලින් පෙනේ සිටියි. නමුත් මෙහි බොහෝ කල් සිටිය නොහැකියි. උපරිමය අවුරුදු 120යි. එතැනින් එහා සිටිය නොහැකියි. මේ ශරීරය දමා නැවත ශරීරයක් නිර්මාණය කරයි.  මෙය තේරුම් ගැනීම කොතරම් අපහසුද? අපි සිත් නරක් කර ගන්නේ මෙය තේරුම් ගත නොහැකි නිසා නේද? ගහ බැණ ගන්නේ ඒ නිසා නේද? රණ්ඩු සරුවල් කර ගන්නේ ඒ නිසා නේද? මෙහෙම විඳව විඳවා ජීවත් වෙන්නේ ඇයි? ඉන්නේ ටික කාලයයි නම්, තාවකාලිකව පැමිණි අපි මෙය දමා තව තැනකට යයි නම්, ඉන්නා ටික කාලේ අපි සන්තෝෂයෙන් ඉන්නට බලමු.  
මානසික වේදනාව කොච්චර දරුණුද? කායික වේදනාව විඳ දරා ගැනීමට පුළුවනි. හන්දිපත් වේදනාවක්, දතේ කැක්කුමක්, පිටේ වේදනාවක්, මේ ශරීර ගත වේදනාව විඳ දරා ගැනීමට පුළුවන් වුවත්, සිත් වේදනාව විඳ ගැනීම කොතරම් අමාරුද?  ඇඟපත වේදනාව නම් ටික දිනකින් සුව වී යාවි යැයි කියා සිතෙයි. සනීප වූ පසු ඒ වේදනාව අමතකයි. දතේ කැක්කුම තිබී හූල්ල හූල්ලා කෑ ගැසූ නමුත් සුව වූ පසු එතැන වේදනාවක් නැහැ. හන්දිපත් වේදනාව, කායික වේදනාව, උණ සෙම්ප්‍රතිෂ්‍යව සෑදී දැනෙන ශාරීරික අපහසුව සුව වූ පසු මතක නැහැ. සිත් වේදනාව එසේ නොවෙයි. සිතකට දරා ගත නොහැකි සිත් වේදනාවක් ඇති වූ විට, කන්න බොන්න පවා නොහැකි වී යයි. අඳින්න පලඳින්න පවා එපා වී යයි. කෙනෙක් සමඟ සිනා සීමටවත් නොසිතෙයි. වැටුනු තැනක නිදා ගැනීමට සිතෙයි. බඩ ගින්නදර වැඩි වෙනවිට කාට මේවා කියන්න දැයි සිතෙයි. එවිට මහා අසරණ තත්වයකට අපි පත් වන්නෙමු. සිත් වේදනාව සිතේ අසරණකම වැඩි වන විට දූ දරුවෝ තම ජීවිතයට ප්‍රශ්ණයක්  වෙයි. ස්වාමියා, ස්වාමී දියණිය ජීවිතයට ප්‍රශ්ණයක් වෙයි. මනුස්සකමට කෙනෙක් ඇවිත් සිනාසීමට හැදුවත්, එයත් අප ප්‍රශ්ණයක්  බවට පත් කර ගනියි. ඒ තරමට මානසික අසහනය, මානසික වේදනාව දරුණුයි. අප මානසිකව අසරණ වෙන්නේ, මානසිකව තනි වෙන්නේ සිත හදා ගැනීමට නොහැකි වූ නිසා නොවේද?  මේ ලෝකයේ පැවැත්ම වෙනස් කිරීමට පුළුවන් අපි කාටද? පායන හිරු බැස යන හිරු වෙනස් කළ හැක්කේ  කාටද? ස්වභාවධර්මය ඒ ආකාරයෙන්ක්‍රියාත්මක වෙයි.   ගහ කොළ ගෙඩි හට ගනියි. වැටෙයි. අහසට වතුර උනයි. අහසට වතුර වැඩි වන විට වළාකුළු බර වී පොළොවට කඩා වැටෙයි. එම රාජකාරිය ඒ අයුරින් සිදු වෙයි. ගහකොළ විසින් අහසට ඕනෑ කරන වතුර සම්පාදනය කරයි. මේ විශ්වය පුරාම එකිනෙකා තම තමාට පැවරුණු රාජකාරිය ඉටුකරයි. අපිට පැවරුණු කාර්යය කුමක්ද? අපි අපිට පැවරුණු කාර්යය නිවැරිදිව ඉටු කරනවාද? ගහකොළ තම තමන්ගේ කාර්යය ඉටු කරන්නා සේ, මනුස්ස ලෝකයට පැමිණි අපි අපේ කාර්යය ඉටු කරනවාද? ගහකොළ නොවෙයි සතා සිව්පාවොත් නෙවෙයි අපිට කියන්නේ "මනුෂ්‍යයා" කියායි. මනුෂ්‍යයාට අයිති රාජකාරිය කුමක්ද? සිතා මතා වැඩ කිරීමයි. කල්පනා කිරීමයි. දුර දිග බලා වැඩ කිරීමයි. මනුෂ්‍යයෝ වූ අපි, මනුෂ්‍යයාට  පැවරුණු රාජකාරිය නිවැරිදිව කරනවා නම්, ඕනෑම දෙයක් විඳ දරා ගැනීමට ශක්තිය ඇතිවෙයි. එවන් ශක්තියක් ලබන්නට වෙර දරමු.

---------------------------------------------------

පූජනීය ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.
බුදුමග සඟරාව - (බුදුමග සංවිධානයේ මාසික ප්‍රකාශනය )
3 වෙනි පිටුව,  වප් කලාපය 2014.

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර