ශ්‍රී දෙව්රම් මහා විහාරය

කෝට්ටේ රාජධානිය වූ වත්මන කොළඹ නම් දිශාවේ පන්නිපිටිය නම් ගම්වරයේ මේ විරාජිත වු ශ්‍රී දෙව්රම් මහා විහාරය පිහිටා ඇත්තේය. පන්නිපිටිය සිට බත්තරමුල්ල දෙසට යන මාර්ගයේ දෙපානම නම් ස්ථානයේ බැස හූවක් තරම් පැමිණි විට මේ විරාජිත වු පුණ්‍යභූමියේ විභූෂිත සමලංකෘත වූ ද්වාරය පිහිටා ඇත්තේය.

මතු බුදු බව පතන ශ්‍රීමත් බෝධි සත්ව ගුණෝපේත ධර්ම ගුණයෙන් විභූෂිත කොලොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් වහන්සේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ මඩ ගොහොරු වූ වෙල්යායක එක් උස් ස්ථානයක සිට කළ සත්‍යක්‍රියා භාවනාවේ මහිමයෙන් බිහිවූ පින්බිමයි ශ්‍රි දෙව්රම් මහ වෙහෙර. ශ්‍රි දෙව්රම් මහ වෙහෙර දකුණු දෙසහි අප තථාගතයන් වහන්සේගේ අඩි 59 ක් තරම් වූ මනස්කාන්ත වූ පින්බර සැතපෙන ප්‍රතිමා වහන්සේ පොළොන්නරු මහා පැරකුම් නිරිදානන් කල ගල් විහාරයේ සැතපෙන පිළිම වහන්සේ මතකයට නැගෙන ලෙස සාදා නිම කොට ඇත. යාබදව පෙනෙන සත්සති ගුහාව. අප භාග්‍යවතුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයෙන් පුරා උතුම් වූ සම්බෝධියට පැමිණී ගත කළ සත්සතිය මෙනෙහි කිරීම සිහිපත් කීරිමට තනා ඇත. ඇසතු බෝධියට පිට දී ගත කළ පළමු සතිය, අනිමිස ලෝචන පූජාවෙන් වැඩ සිටි දෙවන සතිය, උතුම් වූ රුවන් සක්මනෙහි වැඩ සිටී තෙවන සතිය, රුවන් ගෙය තුළ වැඩ සිටී සිව්වන සතිය, අජපල් නුග රුක මුල වැඩ සිටි පස්වන සතිය, මුචලින්ද නා රජ සෙවන දුන් සයවන සතිය, කිරි පලූ රුක මුල සමවත් සුවයෙන් වැඩ සිටි සත්වන සතිය. දෑසින් දැක බලා ගන්න. බුදු ගුණ මෙනෙහි කරන්න

පඨමං බෝධි පල්ලංකං
දුතියංච අනිම්මිසං
තතියං චංකමනං සෙට්ඨං
චතුත්ථං රතනාඝරං
පංචමං අජපාලං ච
මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං
වන්දේ තං මුනි සේවිතං

දිව්‍ය රම්‍ය වෙහෙර

 

දුටුගැමුණු නිරිඳානන් කළ රුවන්වැලි ස්ථූපයේ හැඩරුවට සරිලන පින්බර කිරිසයුරේ පාට දිලෙන දිව්‍යරම්‍ය ස්ථුපය ශ්‍රි දෙව් රම් මහ විහාරයේ දකින්න ලැබේවි. දෙවියන්ට ප්‍රිය වූ දිව්‍යරම්‍ය දාගැබ ඡත්‍රයකින් සෙවන සලසමින් මෙහි වැඩ සිටී. මෙවැනි ඡත්‍රයක් දුර්ලභ වන්නේ ය. සිල්වත් පින්වත් උවැසින් කළ මහත් වූ අධිෂ්ඨාන පාරමිතාවේ බලමහිමයෙන් වැඩම කළ අක්‍ෂි ධාතුන් වහන්සේලා මේ චෛත්‍ය ගර්භයේ නිදන්කොට ඇත්තේය. තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය පරිනිර්වාණ සෑයේ දැවෙන විට දෙවියන් විසින් තථාගත අක්ෂි ධාතුන් දෙව්ලොව තැම්පත් කළහ. එම ධාතුන් වහන්සේලා දේව බලයෙන් මේ ස්ථූපයේ නිදන් කොට ඇත්තේය.

 



තුන් මහ බෝධීන් වහන්සේ

 

දෙව් රම් වෙහෙරේ රෝපිත බෝධීන් වහන්සේද සුවිශේෂය.එහි ඉතා සමීපව රෝපනය කරනලද බෝධිඅංකුර තුන ආරක්ෂක බෝධිය, ජනතා බෝධිය හා සංඝ බෝධිය ලෙස නම් වෙයි. බෝධීන් වහන්සේලා වර්ධනය වීමත් සමග එකට බැදෙන්නා සේ තුන් සිංහලයද විසිරී නොයවා, එක්ව බැඳී පවතීවා යනුවෙන් අධිෂ්ඨාන කර මෙසේ තුන් මහා බෝධීන් වහන්සේලා රෝපණය කර ඇත.

ශ්‍රි ලංකාවේ අනුරාධපුර මහමෙව්නාවේ උඩමළුවෙහි වැඩ හිඳින ජය ශ්‍රි මහා බෝ සමිඳුන්ගේ අංකුරයක්ද ඉන්දියාවේ ජය ශ්‍රි මහා බෝධිය පිහිටි තැන වර්තමානයේ වැඩ වසන බෝ සමිඳුන්ගේ බෝධි අංකුරයක්ද ඉන්දියාවේ ආනන්ද බෝධියේ බෝධි අංකුරයක්ද මෙලෙස තුන් මහා බෝධිය ලෙස රෝපණය කර ඇත. දෙමහල් බෝ මළුවෙහි දර්ශනීය රන් වැටකින් අවරණය ලැබ උඩ මළුවෙහි තුන් මහ බෝධින් වහන්සේලා වැඩ හිඳියි. පහත මළුව වටා අටවිසි බෝධීන් නිරුපණය කර ඇත. බෝ මළුවෙහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හා කිරි ගරුඬ් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර තිබේ. මේ තුන් මහ බෝධීන් එකට බැදී පුද පුජා ලබන්නා සෙයින් තුන් සිංහලයද එකට බැඳි පවතීවා.

මේ ත්‍රිවිධ බෝධීන් වල අංකුර මේ උතුම් වූ දෙව්රම් විහාර මළුවේ රෝපණය කර ඇත්තේය. යමෙකු මේ තුන් බෝධියට නමස්කාර කරන්නේ ද ඔහු දඹදිව ආනන්ද බෝධියට නමස්කාර කළා වෙති. ලක්දිව අනුරාධපුර ශ්‍රී මහා බෝධියට නමස්කාර කළා වෙති.

යස්ස මූලේ නිසින්නෝ ව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධි පාදපං

අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා

අප දැන් අසුමහා ශ්‍රාවක වන්දනාවට සැරසෙමු. මේ භද්‍රකල්ප යේ බුදුවරුන් පස්දෙනෙකු බිහි වන්නේය. කල්පයේ මුලින්ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට හතලිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. දෙවනුව කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට තිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට විසි දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප ගෞතම භගා්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට පරිවාර භික්ෂු සංඝයා 500 පිරිසකි. අනතුරුව මේ කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු පදවි ලබන්නේය. මෙසේ අප ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ 500 ක් පමණ වූ පරිවාර සංඝයා පිරිස අතර සංසාරයේ කරන ලද පාරමි බලයේ හේතු මහිමයෙන් විවිධ වූ තනතුරු ලාභියන් ගෙන් පුද ලද තෙරුන් වහන්සේලා අසු නමක් වූ සේක. මේ තෙරුන් වහන්සේලා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා යැයි නම් ලබන්නේය. අප ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදිකරන ලද්දා වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නමස්කාර කරමු.

 
ප්‍රාර්ථනා බුදුපිළිම වහන්සේ

අනතුරුව සියළු යහපත් බලාපොරොත්තු ඉටු වීමට අදිටන් කරගෙන බුද්ධ මංදිරය වන්දනා කරන්නට සැරසෙන්න. ශ්‍රී ලාංකික කලා කරුවන් අතින් නිර්මාණය වූ විශාලතම ලෝහ ප්‍රතිමා වහන්සේ අසීමිත කරුණාවකින් බුද්ධ මංදිරය තුළ වැඩ වාසය කරයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසට ගොස් ඔබ වහන්සේ අරහංය සම්මා සම්බුද්ධය සුගතය ලෝකවිදුය අනුත්තර පුරිස දම්ම සාරථිය සත්තාය දේව මනුස්සානංය බුද්ධය භගවාය. මම ඒ ගුණ අසා ඔබ වහන්සේගේ ඒ නව අරහාදී ගුණ අභියස වන්දනා කරන්නෙමි යන සිතිවිල්ල සිත්හි දරා බුදු පාමුල නව හොද ගුණ ධර්ම පිරූ ජීවිතය පුජා කරමින් වන්දනා මාන කරන්න.

ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ද කැළණි විහාරය සිහියට නන්වන බුද්ධ මන්දිරයක් ඉදිකොට ඇත්තේ ය. පිවිසුන් දොරටු, කොරවක් ගල්, මුරගල් ආදී වූ පුරාණ කලා නිර්මාණයන් ගෙන් ද සමන්විතව ඉදිකර ඇති මේ පුණ්‍ය මන්දිරයේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ වනාහි ලක්දිව පමණක් නොව මුළු ලෝකයේ ම විශේෂිත වූවකි. අප රටේ මෙන්ම ඉන්දියාවේ ද රන්, රිදී, ලෝකඩ, තඹ, පිත්තල ආදී විවිධ ලෝහ වර්ග වලින් කළ පිළිම හමුවන්නේ ය. එම පිළිම ප්‍රමාණයෙන් කුඩා වන අතර අභ්‍යන්තරය සිදුරු සහිත ය. නැතහොත් අභ්‍යන්තරය හෙවත් ඇතුළත වෙනත් අමුද්‍රව්‍යයකින් පුරවා ඇත්තේ ය. එහෙත් දෙව්රම් මහා බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ පිත්තල ලෝහයෙන් ඇතුලත පුරවා කළ දැනට හමුවන විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්නේ ය. එම විහාර බිත්ති විවිධ වූ දේව සමූහයා පිරිවරා ගත් හෙළ කලා කරුවන්ගේ ඇඟිලි තුඩින් නිම වූ මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරමු.

අධිෂ්ඨාන ප්‍රතිමාව

අප තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් පූරණය කරමින් සංසාරයේ චාරිකා කරන සමය තුළින් විවිධ අවස්ථාවන් හි අධිෂ්ඨාන පාරමිතාව, පාරමී, උප පාරමී, පරමත්ත පාරමී වශයෙන් පුරණ ලද්දේ ය. ඕනෑම අභියෝගයක් හමුවේ තම අධිෂ්ඨානය වෙනස් නොකරමින් තම අපේඬාවන් පූරණය කර ගැන්මට බෝධි සත්වයන් වහන්සේ කටයුතු කළ සේක. එසේම උන්වහන්සේ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිනියේ ද මේ අධිෂ්ඨාන ශක්තිය පාදක කරගෙන ය. තවද උන්වහන්සේගේ ශ්‍රාවක භිඬු සංඝයා ද උන්වහන්සේගේ අඩි පාරේ වඩිමින් විවිධ වූ අධිෂ්ඨානයන් පූරණය කළ අයුරු බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයෙන් පිළිඹිබු වන්නේ ය. අප බෝධිසත්ව ගුණෝපේත කොලොන්නාවේ සිරි සුමංගල අනුනායක හිමියන් ද එක් දිනක තම වාසය සැලසූ මේ මව් බිමේ උරුමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවකු තමන්ගේ වාසය පිණිස මිලදී ගෙන තිබුණු බිම් කඩේ ඉදිවූ සමාධි අසපුව ඉදිරිපිට මඩ වගුරු සහිත භූමියට වැඩම කළහ. එහි එක්තරා තැනක් තුඹසක් ලෙස තරමක් උසින් පිහිටියේ ය. මේ ස්ථානයේ ධ්‍යාන භාවනාවට සම වැදුනු අප අනුනායක හිමියන් වහන්සේ කවර දිනක හෝ මේ මඩ වගුරු සහිත භූමියේ මතු බුදුවන බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන ශ්‍රී දෙව්රම් මහා විහාරය ඉදිවන්නේ යැයි අධිෂ්ඨාන කළහ. එම ස්ථානයේ පසුව විහාරය ඉදිකරන අතර මේ ස්ථානයේ අධිෂ්ඨාන පිළිමය නමින් හඳුන්වන ශිලාමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර ඇත්තේ ය. අපූරු රන් වැටකින් හා වීදුරු ගෘහයකින් අලංකෘත මේ ප්‍රතිමා වහන්සේ අදත් බොහෝ දෙනාගේ දුක්කරදර වලට පිහිට වීමේ අපූරු බලයක් ඇත්තේ ය. දාගැබට නැගෙනහිරින් පිහිටි මේ පුණ්‍යවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමස්කාර කරන්න.

ධර්ම රාජ මන්දිරය හා දිව්‍ය ලෙන


වර්තමානයේ
ඇප්ගනිස්ථානයේ ඉදිකර තිබුණු බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ආගමික උන්මත්තකයන් විසින් ෂෙල් වෙඩි යොදා මේ පිළිමය විනාශ කර දැමීමේ පුවතින් මුලූ ලෝකය කම්පා කළේ ය. මේ පුවතින් ධර්ම සංවේගයට පත් අප අනුනායක හිමියන් එම පුවත පාදක කරගෙන දින 45 ක් වැනි ඉතා සුළුකාලයකින් අවුකන බුදු පිළිමයේ අනුරුවට මේ ධර්මරාජ ප්‍රතිමා වහන්සේ ඉදිකොට එම ප්‍රතිමාව අසළ සැතපෙන පිළිම වහන්සේ නමක් හා සමාධි පිළිම වහන්සේ නමක් ද ඉදි කළේ ය. මෙසේ වූ මේ ප්‍රතිමා මන්දිරය ර්‍ධර්මරාජ මන්දිරයනමින් හඳුන්වනු ලබන්නේය.

දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරය පිළිබිඹු වන ලෙස මේ ස්ථානයේ ඉදිකොට ඇති ගුහාව. දිව්‍ය ලෙන ලෙස නම් කොට ඇත්තේය.

සිරි සුමනා දහම් මණ්ඩපය


අඩි
100ක් දිගින් යුතු අඩි 50ක් පළලකින් යුතු කන්ද උඩරට රාජධානියේ මඟුල් මඩුව සිහිගන්වන දෙව්රම් මහ වෙහෙරෙහි ධර්ම ශාලව සිරි සුමනා දම්සභා මණ්ඩපයයි.

එසේ ම මේ උත්තම දහම් මණ්ඩපය ඉදි කිරීමේ තවත් විශේෂයක් වන්නේ ය. මතු බුදුවන බුදුවරුන්ට විවරණ දුන් තම මෑණියන් සිහිකිරීම බෝසත් වරුන්ගේ සිරිතය. අප තථාගතයන් වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් තුන්මසක් තිස්සේ දිව්‍ය ලොව වැඩ සිටිමින් වීජම් බණ දේශනා කළ සේක. අප සිරි සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේට මගේ බුදු පුතේ මාගේ මේ අසනීප තත්වයට වඩා මේ මිනිසුන්ට දහම් දෙසීම වැදගත් කොට සළකන්න. මම ගැන බලන්න එපා. මේ වැරදි මග යන මිනිසුන්ට පිහිට වන්න යැයි ලෙඩ ඇඳේ සිට තමන්ට උපදෙස් දුන් තම උත්තම වූ මෑණියන් සිහිවීම පිණිස මේ දහම් මණ්ඩපය කරවා එය සිරි සුමනා දහම් මණ්ඩපය ලෙස නම් කරන්නට විය.

මේ දහම් මණ්ඩපයේ ඉදිරියෙන් විශාල වූ වේදිකාවකි. බිත්තිය හා සිවිලිම විවිධ රූප වලින් අලංකෘතය. මධ්‍යයේ පියුමක් මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. වේදිකා පිවිසුම් පියගැට පෙළ දෙකකි. ඒවා සඳකඩ පහන්, කොරවක් ගල් යොදා අලංකාර කර ඇත්තේ ය. එසේම දහම් ශාලාවට තුන් දිශාවකින් පිවිසිය හැකි වන්නේ ය. ඒ සෑම ද්වාරයක් ම විවිධ කලා අංග වලින් සරසා ඇත්තේය.

සිරි පියදස්සි උපෝසථාගාරය

ශ්‍රී දෙව්රම් මහා විහාරය යනු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මූලස්ථානයයි. මේ පුණ්‍ය භූමියට උපෝසථාගාරයක් අවශ්‍යමය. එය අවබෝධ කරගත් සිරි සුමංගල අනු නා හිමියෝ ඉතා ඉක්මණින් මෙන්ම පුරාණ කලා සම්ප්‍රදාය අනුගමනය කරමින් වටා දිය අගලක් ද සහිත වූ දර්ශනීය උපෝසථාගාරයක් උඩමළුවේ ඉදි කළේ ය. විහාර ඉතිහාසයට සම්බන්ධ ලේඛන වලට අනුව මේ විනය කර්ම ගෘහය ඉදිකිරීමට ගත වී ඇත්තේ පුරා සති දෙකකි. එසේ බලන කල ලක්දිව ඉතා සුළු කාලයක් තුළ ඉදි වූ ස්ථිර උපෝසථාගාරය මෙය වන්නට පුළුවන. මේ උපෝසථාගාරය සිරි පියදස්සි මා හිමියන් නමින් නම් කොට ඇත්තේය.

ශ්‍රී පාද මන්දිරය

අලංකාර පත්තිරිප්පුවකින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙහි ශෛලමය ශ්‍රී පාද පත්මය තැන්පත්කොට ඇත. මෙහි පිටත මන්දිරයෙහි බිත්ති හා ඇතුලත මන්දිරයෙහි බිත්ති අලංකාර නුවර යුගයට අයත් බිතු සිතුවමින් වර්ණවත් කර ඇත. පිටත මන්දිරය වටා සූවිසි විවරණයන් නිරූපණය වන නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් පෙළක් ද දක්නට ලැබෙයි.

මෙම ධමිම චරන මන්දිරයෙහි පහත මාලයෙහි හා පළමු මහලෙහි සොලොස් සිහින මූර්තිමත් කිරීමට නියමිතය.


අත්පිටපත් කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් පත්තිරිප්පුව

මෙම ධමිම චරන මන්දිරයෙහි පත්තිරිප්පුව තුළ අත්පිටපත් කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් කර ඇත. ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ත්‍රිපිටක පොත් වහන්සේලා අත්පිටපත් කිරීමේ දෙව්රම් වෙහෙර ආශ්‍රිතව සිදුකෙරිණි.



මහාමායා බුදු මැදුර


දෙව්රම් මහා විහාරය ආරම්භක කාලයේ පිවිසුම් දොරටුවෙහි ඉදිකර තිබූ දර්ශනිය වාහල්කඩ උපයෝගී කරගෙන මෙම මන්දිරය ඉදිකර තිබෙයි. මෙම මන්දිරයේ මුලින්ම තැන්පත් කර තිබුණේ ඉන්දියාවෙන් වැඩමවන ලද දෙව්රම් මහ වෙහෙරට අධිගෘහිත මාතෘදිව්‍ය රාජිණිය නම් වූ මහාමායා දේවියගේ ශෛලමය ප්‍රතිමාවයි. එම ප්‍රතිමාව දෙව්රම් වෙහෙරෙහි ඉදි වූ මාතෘ දිව්‍යරාජ මන්දිරය වෙත වැඩමවීමෙන් අනතුරුව තායිලන්තයෙන් වැඩමවන ලද ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙහි තැම්පත් කර ඇත. ඒ අනුව දෙව්රම් වෙහෙරෙහි දක්නට ලැබෙන දෙවන බුද්ධ මන්දිරය මෙම මහාමායා බුද්ධ මන්දිරයයි. ඊට යාබදව නුග බෝ සෙවනේ නවග්‍රහයින් වෙනුවෙන් අවශ්‍ය අයෙකුට පුද පූජා පැවැත්වීම පිණිස නවග්‍රහ මණ්ඩලය තැන්පත් කර තිබේ.

දුටුගැමුණු දේව ප්‍රතිමාව

දුටුගැමුණු මහ රජතුමා යනු මේ රට එක්සේසත් කළ එමෙන්ම බුදු සමය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටුකළ ශ්‍රේෂ්ඨ රජෙකි. මෙතුමාගේ ඔටුන්නෙහි සර්වඥධාතුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන් වෙයි. එම ධාතූන් වහන්සේ හා එම ධාතූන් වහන්සේ වැඩ සිටි ඉතා කුඩා රිදී කරඩුව දෙව්රම් වෙහෙරෙහි සර්වඥධාතූන් වහන්සේලා අතර වැඩ හිඳියි. එයට උපහාරයක් පිණිසත් දුටුගැමුණුවන් බෝසත් රජවරු මෙරට පහළවේවා යන අධිෂ්ඨානයෙනුත් දුටුගැමුණු දේව ප්‍රතිමාවක් දෙව්රම් මහා වෙහෙරෙහි ඉදිකර ඇත. සොළොස් මහා බ්‍රහ්ම දේව මන්දිරය ඉදිරිපිට දිව්‍යරම්‍ය මහ වෙහෙර දෙස නෙත් හෙළා සිටින ආකාරයට මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.









සොළොස් මහා බ්‍රහ්ම දේව මන්දිරය


ශ්‍රී
සර්වඥධාතු මන්දිරයත් මහාමායා බුද්ධ මන්දිරයත් අතර පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සොළොස්මහා බ්‍රහ්ම දේව මන්දිරයයි. එහි පහත මාලය පුද පූජාවන් සකස් කිරීම සඳහා පහසුකම් සපයා ඇත. දෙපසින්ම පිවිසිය හැකි ඉහළ මාලයෙහි පොදු ආලින්දයකින් යුතු දේවාල රාශියකි. බෞද්ධයන් අතර තෙරුවන් සරණ ගිය බෝසත් දේව මණ්ඩලයක් හඳුන්වා දීමේ අරමුණින් මෙම දේව මන්දිරය ඉදිකර තිබේ. මෙම දේව මන්දිරය තුළ ඉදිකර ඇත්තේ තෙරුවන් සරණ ගිය බෞද්ධ දේව ප්‍රතිමා පමණකි.

මඩිහේ මහා නාහිමි ප්‍රතිමාව

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරය හෙබ වූ අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ මහා නා හිමියන්ගේ, දෙව්රම් වෙහෙර විවෘත කළ මොහොතේ දෙව්රම් වෙහෙරට වැඩම කළ අවස්ථාවේ වැඩ සිටි විශේෂ මණ්ඩපයෙහි එදා උන්වහන්සේ වැඩ සිටි ආකාරය නිරූපනය කෙරෙන ප්‍රතිමාවක් තැන්පත් කළේ උන්වහන්සේගෙන් මෙරටට ජාතියට ආගමට සිදු වූ මෙහෙයට උපහාර පිණිසම ය. එම ප්‍රතිමාව එසේ තැන්පත්ව තිබිය දී තායිලන්ත ජාතික දායක පිරිසකගේ විශේෂ දායකත්වයක් මත මඩිහේ මහා නාහිමියන්ගේ ජීවමාන ස්වරූපයේ පිළිරුවක් තායිලන්තයේ දී නිර්මාණය කර මෙරටට වැඩම වූහ. සැබෑවට ම මහා නාහිමියන් වැඩ වසති යැයි මෙම ප්‍රතිමාව දකින අයෙකුට සිත් වන තරමටම එම ප්‍රතිමාව විශේෂ තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන රබර් මිශ්‍රිත ප්ලාස්ටික් වර්ගයකින් තායිලන්තයේ දී නිර්මාණය කර තිබේ.

දෙව්රම් මහ වෙහෙර ත්‍රිපිටක ශිලා ලේඛනගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා පුළුල් වීමේදී ඇති වූ අවශ්‍යතා මත පළමු ප්‍රතිමාව හා පීඨිකාව ඉවත් කිරීමට සිදු වූ අතර ශ්‍රී ධාතු මන්දිරයෙහි විශේෂ කුටියක් තුළ නව ප්‍රතිමාව ස්ථාපනය කොට බෞද්ධ ජනතාවගේ පූජෝපහාර පිණිස තැන්පත් කොට ඇත. මුල් මහ නාහිමි ප්‍රතිමාව දෙව්රම් වෙහෙරෙහි ඉදිවෙමින් පවතින මහා නා හිමි ප්‍රතිමා සංකීර්ණය තුළ තැන්පත් කෙරෙනු ඇත.

මෙත් බෝසත් ප්‍රතිමාව හා නා බෝධීන් වහන්සේලා

ශ්‍රී දෙව්රම් වෙහෙරෙහි සිරි සුමනා දම්සභා මණ්ඩපයත් බුද්ධ මන්දිරයත් අතර මෙත් බෝසත් ප්‍රතිමාවක් දක්නට ලැබෙයි. ගෞතම බුද්ධ ශාසනයේ අනතුරුව බුදු පදවි ලබන මෙත් බෝසතාණෝ අසරණ ලෝකයාට සරණය වෙමින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරයි. එම බෝසතාණන් වහන්සේට උපහාර පිණිස නිර්මාණය කර ඇති ශෛලමය බෝසත් ප්‍රතිමාව අලංකාර මුතු කුඩයකින් ආවරණය කර ඇති ලෙස නිරූපණය කර තිබෙයි.

ඉන්දියානු කලා ශිල්පීන් විසින් ඉන්දියාවේ නිර්මාණය කරන ලද මෙම ශෛලමය බෝසත් ප්‍රතිමාව ලංකාවට වැඩමවා මෙසේ තැන්පත් කර තිබේ.

තවද මතු බුදුවන ආර්ය මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේට උතුම් බුදු බව ලබන්නට සෙවන දෙන්නේ නා බෝධීන් වහන්සේයි. එය සංකේතවත් කරමින් ආර්ය නාථ මෙත් බෝසත් ප්‍රතිමාව අභියස නා බෝධියක් රෝපණය කර ඇති අතර එම බෝධිය වටා ද දර්ශනීය බෝධි ප්‍රාකාරයක් හා රන්වැටක් ඉදිකර තිබෙයි. මෙම නා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවන විට සෙවන දෙන්නට මෙම බෝධියෙන් බීජයක් සුළඟේ පාවී ගොස් බුද්ධ ගයා බෝ මැඩ රෝපණය වේවායි අධිෂ්ඨානය කර ඇත.

සීවලී ලෙන හා මිහිඳු කුටිය

බෞද්ධ ජනතාව අතර සීවලී මහා රහතන් වහන්සේ විශේෂ ගෞරවයකට පූජාවන්ට පාත්‍ර වූ රහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ පිළිරුවක් දෙව්රම් මහා වෙහෙරෙහි ඉදිවිය. මෙම කුටිය තුළ අරිට්ඨ මහ රහතන් වහන්සේගේ පිළිරුව, මිහිඳු මහ තෙරුන් වහන්සේගේ සංඝමිත්තා තෙරණියගේ ධර්මාශෝක රජතුමා, දෙවන පෑතිස් රජතුමා, අනුලා මෙහෙණිය අනේපිඩු සිටුතුමා හා විශාකා මහා උපාසිකාවගේ යන ලංකාවට බුදු දහම දායාද කිරීමට පුරෝගාමී වූ පුණ්‍යවන්තයින් ගේ ප්‍රතිමා නිර්මාණය කර ඇත.




සර්වඥධාතු මන්දිරය

දෙව්රම් වෙහෙරෙහි අභිනවයෙන්ම ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය ස්වර්ණ බුද්ධ රාජ සර්වඥධාතු මන්දිරයයි. වලගම්බා රජ සමයට අයත් ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගිය දා ශ්‍රී දෙව්රම් මහ වෙහෙරට වැඩම කරවනු ලැබී ය. මෙම ප්‍රතිමාව තැන්පත් කිරීම උදෙසාත් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල වන මෙහි ඉදිරි බිත්තිය අලංකාර තොරණ නිර්මාණයකින් අලංකාරය. ඉහළ මාලයේ ඇතුල් මාලිගයට ඇතුල්වීම පිණිස ඇති දොරටු අති දැවැන්ත දැව නිර්මාණයන් ය. පෞරාණික බවක් එක් කිරීම පිණිස මෙම පිවිසුම් දොරටු ඉපැරණි මන්දිර සඳහා යොදා ගත් දොර හා උළුවහු භාවිත කරමින් නිර්මාණය කර ඇත.

ඉහළ මාලය ශ්‍රී ධාතු මන්දිරය ස්වර්ණ බුද්ධ කුටිය හා ගන්ධ මාලිගය සඳහා වෙන්කර ඇත. එහි ප්‍රධාන ශාලාවට පිය ගැට පෙළ දෙකකින් පිවිසිය හැකි අතර 1000 ක් පමණ සැදැහැතියන්ට මෙම ශාලාවේ පහසුකම් ඇත. මෙම මන්දිරයෙහි තැන්පත් අඩි 05 අගල් 07 ක් උසැති ස්වර්ණාලේපිත දා කරඩුන් වහන්සේ තුළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ අවශේෂ දන්ත ධාතුන් වහන්සේ ප්‍රධාන ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා විශාල ගණනක් වැඩ සිටී. එමෙන්ම මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ හැර සෙසු අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ද මෙහි තැන්පත් කොට ඇත්තේය.

සංඝාවාසයේ සීමිත කාමර 02 ක් පමණක් සුමගුල් හිමියන්ගේ පරිහරණය සඳහා භාවිතා කරයි. එසේම හමුවීම් කාමරය උන්වහන්සේ පිටතින් වැඩම කරන මහා සංඝරත්නය හා පැමිණෙන ජනතාව හමුවීම සඳහා භාවිතා කරයි. මෙම හමුවීම් ශාලාවට ඉදිරියෙන් සාලයක් හා කාමර 03 ක් ඉදිකර තිබේ. ඒ පිටතින් වැඩම කරන මහා සංඝරත්නයට තම අවශ්‍යතාවය ඉටුවන තෙක් වැඩහිඳීම පිණිස ය. එම ශාලාවෙහි වර්තමානයේ මෙරට වැඩහිඳින සියලූ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඡායාරූප තැන්පත් කර තිබේ.

නාථ බෝසත් ප්‍රතිමාව

නාථ බෝසතාණෝ හා මහා මෛත්‍රී බෝසතාණෝ යනු එකම බෝධි සත්වයාණන් වහන්සේ නමක්ය යන මතය සාවද්‍ය බව සමාධිගත වූ සුමංගල ස්වාමීන් වහන්සේට දැනී ඇත. මෛත්‍රී බෝධි සත්වයාණන් වහන්සේ නම් සමීපතම අනාගතයේ බුදුවන්නා වූ බෝසතාණෝය. නාථ බෝධි සත්වයන් යනු සසර සැරිසරණ අන්තිම සත්වයා ද සසරින් එතෙර එතර වන තෙක් ඒ සත්වයන්ට ආශිර්වාද කරමින් බුදුවන්නට පෙරුම් පුරන බෝසත් වරුනට දිරිදෙන උතුමෙකි. ඒ නිසා පංච මහා දේවාල සංකීර්ණය අසළ අඩි 23 ක් උසැති දැවැන්ත නාථ බෝසත් ප්‍රතිමාවක් නිර්මාණය කර තිබේ. නාථ බෝසත් ප්‍රතිමාව ඉදිරිපිටින් පටන් ගෙන විහාරස්ථානය මැදින් දම්සක් මැදුර හරහා ධර්ම ශාලාව තෙක් දිවෙන මාවත සම්බුදු මාවත ලෙස නම් කර ඇත.




ගන්ධ මාළිග ආකෘතිය

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි කුටියයි. එය සුදු සඳුන් ලීයෙන් නිර්මාණය කර ඇත. මෙහි ඉදිරි ශාලාව අමුත්තන් හමුවීමට භාවිතා කළ අතර ඇතුළත ශාලාව උන්වහන්සේ සැතපෙනු පිණිස භාවිත කරන ලදි. මෙම ආකෘතියේ ඇති පිළිම වහන්සේ හා වහලය ඉන්දියාවේ දෙව්රම් වෙහෙරෙහි දක්නට නොලැබෙන අතර ගන්ධ මාලිගයට ඉදිරියෙන් පිහිටි බුදුරජාණන් වහන්සේ පැන් වැළදූ ලිඳ අද ද දක්නට ලැබෙයි.


ආනන්ද කුටිය

බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ අනඳ මා හිමියන් වැඩසිටි කුටියයි. දෙව්රම් වෙහෙරෙහි ඇති මෙම කුටිය ගන්ධ මාළිගයට දකුණතින් ඊට සමීපයෙන් පිහිටා තිබිණි. අනඳ හිමියන් මෙම කුටියට වී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අමතන තෙක් ගන්ධ මාළිගය දෙස බලා දැඩි අවධානයකින් යුතුව වැඩවාසය කළ බව සඳහන් වෙයි.


කනේරු කුටිය

කාමර 20 කින් පමණ සමන්විත මෙම කුටිය මෙම ප්‍රමාණයට වඩා 20 ගුණයකින් පමණ විශාලය. බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම පිණිස වැඩමකළ රහතන් වහන්සේලා මෙම කුටිය තුළ තාවකාලිකව වැඩසිටි අතර කනේරු කුටිය මැද ලිඳක් ද වෙයි.


මාතෘ දිව්‍ය රාජ මන්දිරය

ලෝකයේ දෙවන මාතෘ දිව්‍යරාජ මන්දිරය පිහිටා ඇත්තේ මේ පුණ්‍ය භූමියේ ය. මාතෘ දිව්‍ය රාජයා යනු තථාගතයන් වහන්සේ මෙළොවට බිහි කළ තථාගතයන්ගේ අම්මා වූ මහාමායා දේවියයි. බෝසත් කුමරු ඉපදී දින සතකින් මිය ගොස් දිව්‍යලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස ලැබූ උපතයි. මව්ගුණය සිහිකොට අපරිමිත මාතෘ ප්‍රේමය සිහිකොට වැඳුම් පිදුම් ලබන මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කළ දේවාලයක් ඉන්දියාවේ එතුමිය උපන් දෙව්දහ නුවර ඉදිකොට ඇත. දෙව්රම් විහාරයේ ඉදිකර ඇත්තේ දෙවන දේව මන්දිරයයි.

අප බෝසත් ගුණෝපේත ශ්‍රී සුමංගල අනුනායක හිමියන් අදහස් කරන්නේ වර්ෂ දහස් ගණනක් බෞද්ධ සමාජයේ මෙන්ම හින්දු සමාජය තුළ ද ගෞරව වන්දනාවට පාත්‍රය වූ පත්තිනි දේව

මෑණියන් වෙන කෙනෙකු නොව මේ මහාමායා දිව්‍ය රාජිණිය බවයි. ඒ ගැන බොහෝ තොරතුරු සාක්ෂි ඉදිරිපත් වේ. මේ ඒ පිළිබඳ පැවසීමට සුදුසු වේලාව නොවේ.

දඹදිව දෙව්දහ නුවර යනු උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ භූමියක්. එම භූමියේ පාෂාණයෙන් නිර්මාණය කළ ශිලාමය මාතෘ දිව්‍යරාජ හෙවත් මහා මායා දිව්‍ය රාජිණියගේ ප්‍රතිමාවක් මෙහි තැන්පත් කර ඇත්තේ ය. එසේම එහි හාත්පස කුටිවල කතරගම, විෂ්ණු දෙවිවරුන්ගේ ප්‍රතිමා තැම්පත් කර ඇත්තේ ය. බොහෝ හාස්කම් ඇතැයි සලකන මේ දේව මන්දිරයට දරු උපත් බලාපොරොත්තු වන කාන්තාවන් කුඩා දරුවන්ගේ ලෙඩ දුක් නිවාරණය අපේක්ෂා කරන පින්වතුන් විවිධ පුද පූජා පවත්වන අයුරු අප දැක ඇත. දිනපතා උදෑසන 8.00 හා සවස 8.00 ට පූජාව පවත්වන අතර බදාදා හා සෙනසුරාදා නානුමුර පූජාව පවත්වනු ලැබේ. ඔබ මෙතෙක් ශ්‍රී දෙව්රම් මහා විහාර වන්දනාවෙන් ලැබගත් පින් මහාමායා දිව්‍ය රාජිණීය ඇතුලූ සියලූ පරිවාර දෙවියන්ට ද අනුමෝදන් කොට මේ පින් බිමෙන් පිටවීමට පෙර මේ මහා විහාරයට ශ්‍රද්ධා භක්තිය පෙරටු කරගෙන වන්දනා කරමු.

 

 

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර