දිව්‍ය රම්‍ය වෙහෙර

දුටුගැමුණු නිරිඳානන් කළ රුවන්වැලි ස්ථූපයේ හැඩරුවට සරිලන පින්බර කිරිසයුරේ පාට දිලෙන දිව්‍යරම්‍ය ස්ථුපය ශ්‍රි දෙව් රම් මහ විහාරයේ දකින්න ලැබේවි. දෙවියන්ට ප්‍රිය වූ දිව්‍යරම්‍ය දාගැබ ඡත්‍රයකින් සෙවන සලසමින් මෙහි වැඩ සිටී. මෙවැනි ඡත්‍රයක් දුර්ලභ වන්නේ ය. සිල්වත් පින්වත් උවැසින් කළ මහත් වූ අධිෂ්ඨාන පාරමිතාවේ බලමහිමයෙන් වැඩම කළ අක්‍ෂි ධාතුන් වහන්සේලා මේ චෛත්‍ය ගර්භයේ නිදන්කොට ඇත්තේය. තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය පරිනිර්වාණ සෑයේ දැවෙන විට දෙවියන් විසින් තථාගත අක්ෂි ධාතුන් දෙව්ලොව තැම්පත් කළහ. එම ධාතුන් වහන්සේලා දේව බලයෙන් මේ ස්ථූපයේ නිදන් කොට ඇත්තේය.
 

තුන් මහ බෝධීන් වහන්සේ

දෙව් රම් වෙහෙරේ රෝපිත බෝධීන් වහන්සේද සුවිශේෂය.එහි ඉතා සමීපව රෝපනය කරනලද බෝධිඅංකුර තුන ආරක්ෂක බෝධිය, ජනතා බෝධිය හා සංඝ බෝධිය ලෙස නම් වෙයි. බෝධීන් වහන්සේලා වර්ධනය වීමත් සමග එකට බැදෙන්නා සේ තුන් සිංහලයද විසිරී නොයවා, එක්ව බැඳී පවතීවා යනුවෙන් අධිෂ්ඨාන කර මෙසේ තුන් මහා බෝධීන් වහන්සේලා රෝපණය කර ඇත.

ශ්‍රි ලංකාවේ අනුරාධපුර මහමෙව්නාවේ උඩමළුවෙහි වැඩ හිඳින ජය ශ්‍රි මහා බෝ සමිඳුන්ගේ අංකුරයක්ද ඉන්දියාවේ ජය ශ්‍රි මහා බෝධිය පිහිටි තැන වර්තමානයේ වැඩ වසන බෝ සමිඳුන්ගේ බෝධි අංකුරයක්ද ඉන්දියාවේ ආනන්ද බෝධියේ බෝධි අංකුරයක්ද මෙලෙස තුන් මහා බෝධිය ලෙස රෝපණය කර ඇත. දෙමහල් බෝ මළුවෙහි දර්ශනීය රන් වැටකින් අවරණය ලැබ උඩ මළුවෙහි තුන් මහ බෝධින් වහන්සේලා වැඩ හිඳියි.

Read more: තුන් මහ බෝධීන් වහන්සේ

   

අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා

අප දැන් අසුමහා ශ්‍රාවක වන්දනාවට සැරසෙමු. මේ භද්‍රකල්ප යේ බුදුවරුන් පස්දෙනෙකු බිහි වන්නේය. කල්පයේ මුලින්ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට හතලිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. දෙවනුව කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට තිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට විසි දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප ගෞතම භගා්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට පරිවාර භික්ෂු සංඝයා 500 පිරිසකි. අනතුරුව මේ කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු පදවි ලබන්නේය. මෙසේ අප ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ 500 ක් පමණ වූ පරිවාර සංඝයා පිරිස අතර සංසාරයේ කරන ලද පාරමි බලයේ හේතු මහිමයෙන් විවිධ වූ තනතුරු ලාභියන් ගෙන් පුද ලද තෙරුන් වහන්සේලා අසු නමක් වූ සේක. මේ තෙරුන් වහන්සේලා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා යැයි නම් ලබන්නේය. අප ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදිකරන ලද්දා වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නමස්කාර කරමු.

 

 

ප්‍රාර්ථනා බුදුපිළිම වහන්සේ

අනතුරුව සියළු යහපත් බලාපොරොත්තු ඉටු වීමට අදිටන් කරගෙන බුද්ධ මංදිරය වන්දනා කරන්නට සැරසෙන්න. ශ්‍රී ලාංකික කලා කරුවන් අතින් නිර්මාණය වූ විශාලතම ලෝහ ප්‍රතිමා වහන්සේ අසීමිත කරුණාවකින් බුද්ධ මංදිරය තුළ වැඩ වාසය කරයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසට ගොස් ඔබ වහන්සේ අරහංය සම්මා සම්බුද්ධය සුගතය ලෝකවිදුය අනුත්තර පුරිස දම්ම සාරථිය සත්තාය දේව මනුස්සානංය බුද්ධය භගවාය. මම ඒ ගුණ අසා ඔබ වහන්සේගේ ඒ නව අරහාදී ගුණ අභියස වන්දනා කරන්නෙමි යන සිතිවිල්ල සිත්හි දරා බුදු පාමුල නව හොද ගුණ ධර්ම පිරූ ජීවිතය පුජා කරමින් වන්දනා මාන කරන්න.

ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ද කැළණි විහාරය සිහියට නන්වන බුද්ධ මන්දිරයක් ඉදිකොට ඇත්තේ ය. පිවිසුන් දොරටු, කොරවක් ගල්, මුරගල් ආදී වූ පුරාණ කලා නිර්මාණයන් ගෙන් ද සමන්විතව ඉදිකර ඇති මේ පුණ්‍ය මන්දිරයේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ වනාහි ලක්දිව පමණක් නොව මුළු ලෝකයේ ම විශේෂිත වූවකි. අප රටේ මෙන්ම ඉන්දියාවේ ද රන්, රිදී, ලෝකඩ, තඹ, පිත්තල ආදී විවිධ ලෝහ වර්ග වලින් කළ පිළිම හමුවන්නේ ය. එම පිළිම ප්‍රමාණයෙන් කුඩා වන අතර අභ්‍යන්තරය සිදුරු සහිත ය. නැතහොත් අභ්‍යන්තරය හෙවත් ඇතුළත වෙනත් අමුද්‍රව්‍යයකින් පුරවා ඇත්තේ ය. එහෙත් දෙව්රම් මහා බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ පිත්තල ලෝහයෙන් ඇතුලත පුරවා කළ දැනට හමුවන විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්නේ ය. එම විහාර බිත්ති විවිධ වූ දේව සමූහයා පිරිවරා ගත් හෙළ කලා කරුවන්ගේ ඇඟිලි තුඩින් නිම වූ මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරමු.

   

අධිෂ්ඨාන ප්‍රතිමාව

අප තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් පූරණය කරමින් සංසාරයේ චාරිකා කරන සමය තුළින් විවිධ අවස්ථාවන් හි අධිෂ්ඨාන පාරමිතාව, පාරමී, උප පාරමී, පරමත්ත පාරමී වශයෙන් පුරණ ලද්දේ ය. ඕනෑම අභියෝගයක් හමුවේ තම අධිෂ්ඨානය වෙනස් නොකරමින් තම අපේඬාවන් පූරණය කර ගැන්මට බෝධි සත්වයන් වහන්සේ කටයුතු කළ සේක. එසේම උන්වහන්සේ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිනියේ ද මේ අධිෂ්ඨාන ශක්තිය පාදක කරගෙන ය. තවද උන්වහන්සේගේ ශ්‍රාවක භිඬු සංඝයා ද උන්වහන්සේගේ අඩි පාරේ වඩිමින් විවිධ වූ අධිෂ්ඨානයන් පූරණය කළ අයුරු බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයෙන් පිළිඹිබු වන්නේ ය. අප බෝධිසත්ව ගුණෝපේත කොලොන්නාවේ සිරි සුමංගල අනුනායක හිමියන් ද එක් දිනක තම වාසය සැලසූ මේ මව් බිමේ උරුමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවකු තමන්ගේ වාසය පිණිස මිලදී ගෙන තිබුණු බිම් කඩේ ඉදිවූ සමාධි අසපුව ඉදිරිපිට මඩ වගුරු සහිත භූමියට වැඩම කළහ. එහි එක්තරා තැනක් තුඹසක් ලෙස තරමක් උසින් පිහිටියේ ය. මේ ස්ථානයේ ධ්‍යාන භාවනාවට සම වැදුනු අප අනුනායක හිමියන් වහන්සේ කවර දිනක හෝ මේ මඩ වගුරු සහිත භූමියේ මතු බුදුවන බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන ශ්‍රී දෙව්රම් මහා විහාරය ඉදිවන්නේ යැයි අධිෂ්ඨාන කළහ. එම ස්ථානයේ පසුව විහාරය ඉදිකරන අතර මේ ස්ථානයේ අධිෂ්ඨාන පිළිමය නමින් හඳුන්වන ශිලාමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර ඇත්තේ ය. අපූරු රන් වැටකින් හා වීදුරු ගෘහයකින් අලංකෘත මේ ප්‍රතිමා වහන්සේ අදත් බොහෝ දෙනාගේ දුක්කරදර වලට පිහිට වීමේ අපූරු බලයක් ඇත්තේ ය. දාගැබට නැගෙනහිරින් පිහිටි මේ පුණ්‍යවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමස්කාර කරන්න.
 

ධර්ම රාජ මන්දිරය හා දිව්‍ය ලෙන



වර්තමානයේ ඇප්ගනිස්ථානයේ ඉදිකර තිබුණු බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ආගමික උන්මත්තකයන් විසින් ෂෙල් වෙඩි යොදා මේ පිළිමය විනාශ කර දැමීමේ පුවතින් මුලූ ලෝකය කම්පා කළේ ය. මේ පුවතින් ධර්ම සංවේගයට පත් අප අනුනායක හිමියන් එම පුවත පාදක කරගෙන දින 45 ක් වැනි ඉතා සුළුකාලයකින් අවුකන බුදු පිළිමයේ අනුරුවට මේ ධර්මරාජ ප්‍රතිමා වහන්සේ ඉදිකොට එම ප්‍රතිමාව අසළ සැතපෙන පිළිම වහන්සේ නමක් හා සමාධි පිළිම වහන්සේ නමක් ද ඉදි කළේ ය. මෙසේ වූ මේ ප්‍රතිමා මන්දිරය ර්‍ධර්මරාජ මන්දිරයනමින් හඳුන්වනු ලබන්නේය.

දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරය පිළිබිඹු වන ලෙස මේ ස්ථානයේ ඉදිකොට ඇති ගුහාව. දිව්‍ය ලෙන ලෙස නම් කොට ඇත්තේය.

   

සිරි සුමනා දහම් මණ්ඩපය


අඩි 100ක් දිගින් යුතු අඩි 50ක් පළලකින් යුතු කන්ද උඩරට රාජධානියේ මඟුල් මඩුව සිහිගන්වන දෙව්රම් මහ වෙහෙරෙහි ධර්ම ශාලව සිරි සුමනා දම්සභා මණ්ඩපයයි.

 

එසේ ම මේ උත්තම දහම් මණ්ඩපය ඉදි කිරීමේ තවත් විශේෂයක් වන්නේ ය. මතු බුදුවන බුදුවරුන්ට විවරණ දුන් තම මෑණියන් සිහිකිරීම බෝසත් වරුන්ගේ සිරිතය. අප තථාගතයන් වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් තුන්මසක් තිස්සේ දිව්‍ය ලොව වැඩ සිටිමින් වීජම් බණ දේශනා කළ සේක. අප සිරි සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේට මගේ බුදු පුතේ මාගේ මේ අසනීප තත්වයට වඩා මේ මිනිසුන්ට දහම් දෙසීම වැදගත් කොට සළකන්න. මම ගැන බලන්න එපා. මේ වැරදි මග යන මිනිසුන්ට පිහිට වන්න යැයි ලෙඩ ඇඳේ සිට තමන්ට උපදෙස් දුන් තම උත්තම වූ මෑණියන් සිහිවීම පිණිස මේ දහම් මණ්ඩපය කරවා එය සිරි සුමනා දහම් මණ්ඩපය ලෙස නම් කරන්නට විය.

මේ දහම් මණ්ඩපයේ ඉදිරියෙන් විශාල වූ වේදිකාවකි. බිත්තිය හා සිවිලිම විවිධ රූප වලින් අලංකෘතය. මධ්‍යයේ පියුමක් මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. වේදිකා පිවිසුම් පියගැට පෙළ දෙකකි. ඒවා සඳකඩ පහන්, කොරවක් ගල් යොදා අලංකාර කර ඇත්තේ ය. එසේම දහම් ශාලාවට තුන් දිශාවකින් පිවිසිය හැකි වන්නේ ය. ඒ සෑම ද්වාරයක් ම විවිධ කලා අංග වලින් සරසා ඇත්තේය.

 

සිරි පියදස්සි උපෝසථාගාරය

ශ්‍රී දෙව්රම් මහා විහාරය යනු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මූලස්ථානයයි. මේ පුණ්‍ය භූමියට උපෝසථාගාරයක් අවශ්‍යමය. එය අවබෝධ කරගත් සිරි සුමංගල අනු නා හිමියෝ ඉතා ඉක්මණින් මෙන්ම පුරාණ කලා සම්ප්‍රදාය අනුගමනය කරමින් වටා දිය අගලක් ද සහිත වූ දර්ශනීය උපෝසථාගාරයක් උඩමළුවේ ඉදි කළේ ය. විහාර ඉතිහාසයට සම්බන්ධ ලේඛන වලට අනුව මේ විනය කර්ම ගෘහය ඉදිකිරීමට ගත වී ඇත්තේ පුරා සති දෙකකි. එසේ බලන කල ලක්දිව ඉතා සුළු කාලයක් තුළ ඉදි වූ ස්ථිර උපෝසථාගාරය මෙය වන්නට පුළුවන. මේ උපෝසථාගාරය සිරි පියදස්සි මා හිමියන් නමින් නම් කොට ඇත්තේය.

   

ශ්‍රී පාද මන්දිරය

අලංකාර පත්තිරිප්පුවකින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙහි ශෛලමය ශ්‍රී පාද පත්මය තැන්පත්කොට ඇත. මෙහි පිටත මන්දිරයෙහි බිත්ති හා ඇතුලත මන්දිරයෙහි බිත්ති අලංකාර නුවර යුගයට අයත් බිතු සිතුවමින් වර්ණවත් කර ඇත. පිටත මන්දිරය වටා සූවිසි විවරණයන් නිරූපණය වන නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් පෙළක් ද දක්නට ලැබෙයි.

මෙම ධමිම චරන මන්දිරයෙහි පහත මාලයෙහි හා පළමු මහලෙහි සොලොස් සිහින මූර්තිමත් කිරීමට නියමිතය.

 

අත්පිටපත් කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් පත්තිරිප්පුව

මෙම ධමිම චරන මන්දිරයෙහි පත්තිරිප්පුව තුළ අත්පිටපත් කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් කර ඇත. ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ත්‍රිපිටක පොත් වහන්සේලා අත්පිටපත් කිරීමේ දෙව්රම් වෙහෙර ආශ්‍රිතව සිදුකෙරිණි.
   

Page 1 of 3

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර